මගේ අත ගැලවී එල්ලිලා.. බඩගාගෙන බස් එකේ ඉදිරිපසට ආවා.. - දරුවෙකු රැකගත් සරසවි දියණියගේ කතාව
පසුගියදා රම්බොඩ, ගැරඬිඇල්ලේදී සිදුවූ බස් රථ අනතුර මෙරට මෑත කාලයේ ඇතිවූ බරපතළම ඛේදවාචකයකි.
එහිදී, මව්වරුන්ගේ දිනයේදී සිය දියණිය වෙනුවෙන් ජීවිතයේ අවසන් හුස්ම රැකගත් මවකගේ සංවේදී දසුන් සැමගේ හදවත් කම්පා කළේය.
මේ අතර තවත් වාර්තා වූ පුවතක් වන්නේ, තම දරුවෙකු නොවුණත්, බරපතළ තුවාල සහිතව සිටියදීත් වෙනත් දරුවෙකුට රැකවරණය සැලසූ සරසවි සිසුවියකගේ කතාවයි.
වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන නිෂානි නාමල් රත්නායක ද අනතුර සිදුවන විට බස් රථයේ මගියෙකු ලෙස සිටියාය.
මේ ඇය පවසන කතාවයි;
මම බස් එකේ මැද භාගයේ ආසනයක හිටියා. හදිසියේම බස් එක ඇලවෙලා පෙරළෙන්න ගත්තා.
රවුම් දෙකක් පමණ යද්දී මම විසිවෙලා ගියා. ඊට පස්සේ යකඩ ගොඩකට හිරවුණා. ඔළුව බිඳෙයි කියලා මම ගුලිවෙලා ඔළුව පහතට හරවාගෙන හිටියා.
බස් එක පෙරළිලා නතර වුණාට පස්සේ මම නැගිටින්න හැදුවා. ඇඟම හිරිවැටිලා තිබුණා. අත උස්සන්න බැරිවුණා. දකුණු අත ගිලිහිලා පැද්දෙනවා වගේ දැනුණා.
වම් අතින් බඩගාගෙන බස් එකේ ඉදිරිපසට ඇවිත්, තහඩුවක් ගැලවුණු තැනකින් එළියට ආවා. එතකොට බස් එකේ හිටපු කෙනෙක් පොඩි ළමයෙක් උස්සගෙන ආවා. ළමයාගේ අයිතිකාරයෙක් හිටියේ නැහැ.
මගේ අත ගිලිහිලා උස්සන්න බැරිවුණත්, මම බිම වාඩිවෙලා ළමයා මගේ උකුලේ තියාගත්තා. වම් අතින් ළමයා තුරුළු කරගෙන, සීතලෙන් ආරක්ෂා කරමින් පොලිසිය එනතුරු ඉන්නට වුණා.
අසීරුම මොහොතවලදී අන්‍යයන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කිරීම වීරත්වයකි. මනුෂ්‍යත්වය රැඳෙන්නේ එවැනි අවස්ථාවලදීය.
