කෝටි ගාණක මත්ද්‍රව්‍ය දමා සැකකරු පලා යයි
කළුතර දිස්ත්‍රික්කය තුළින් මෙතෙක් සොයාගන්නා ලද විශාලම අයිස් මත්ද්‍රව්‍ය තොගය බදුරලිය, තුඩගල ප්‍රදේශයේ පාළු කැලෑවක තිබී සොයා ගැනීමට බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.
පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වත්මන් කළු කඩ වටිනාකම රුපියල් කෝටි පහමාරකට අධික වේ.
බදුරලිය, තුඩගල පාලම අසල පිහිටි කැලෑ රොදක් තුළ සැකකටයුතු ලෙස දමා ගොස් තිබූ ගමන් මල්ලක් සෝදිසි කිරීමේදී, එහි ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ විශාල ප්‍රමාණයේ පාර්සල් 60 ක් හමු වී ඇති අතර, ඒවා තුළ තිබී කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 362 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තිබූ බව පොලිස් විමර්ශනවලදී නිල වශයෙන් අනාවරණය කරගෙන ඇත.
මෙම වැටලීම සිදු වූයේ මතුගම ප්‍රදේශයේ සිට ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු විසින් බදුරළිය ප්‍රදේශය වෙත මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලිස් බුද්ධි අංශ වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුවය.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ බදුරලිය පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය වටලෑමට කටයුතු කර තිබුණද, පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විටත් සැකකරුට ඒ පිළිබඳව ඉව වැටී තිබී ඇත.
ඒ හේතුවෙන් මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මල්ල කැලෑව තුළට විසි කර ඔහු වහාම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මත්ද්‍රව්‍ය තොගය මිලදී ගැනීමට හෝ භාර ගැනීමට පැමිණීමට නියමිතව සිටි අනෙක් පුද්ගලයා ද පොලිස් අවදානම නිසා එම ස්ථානයට නොපැමිණ පලායන්නට ඇති බවට පොලීසිය දැඩි ලෙස සැක කරයි.
මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරු ඇතුළු සිද්ධියට සෘජුවම සම්බන්ධ සෙසු අපරාධකරුවන් කවුරුන්දැයි හඳුනාගෙන ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලීසිය විසින් මේ වන විට විමර්ශන කටයුතු පුළුල් කර තිබේ.
කළුතර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උදය කුමාර සහ සහකාර කාන්තා පොලිස් අධිකාරී ඉනෝකා ලියනගේ යන උසස් නිලධාරීන්ගේ සෘජු නියෝග, උපදෙස් හා අධීක්ෂණය යටතේ මෙම වැටලීම ක්‍රියාත්මක විය.
බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී. වැදිසිංහගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලංග, පොලිස් සැරයන් සුමිත් (53416) සහ පොලිස් කොස්තාපල් අබේවික්‍රම (106098) යන නිලධාරීහු මෙම සාර්ථක වැටලීම සිදු කර ඇත.