තරුෂි අභිෂේකාගෙන් ලංකාවට තවත් පදක්කමක්
හොංකොං හි පැවැත්වෙන 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ යළිත් බැබළවීමට මෙරට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබේ. එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වූ සුපිරි යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා පේමසිරි අද (31) පස්වරුවේ පැවැති කාන්තා මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
ඇය මෙම ඉසව්ව නිමා කිරීම සඳහා තත්පර 2:07.10 ක දක්ෂ කාලයක් වාර්තා කළාය. දැඩි තරඟකාරීත්වයකින් යුක්ත වූ මෙම මීටර 800 ඉසව්වේ රන් පදක්කම ජපානයේ සසාකි හැනොන් විසින් දිනාගත් අතර, එහි රිදී පදක්කම චීනය නියෝජනය කළ ඩෙං යූ ) ක්‍රීඩිකාව සතු කරගත්තාය.
විශේෂයෙන්ම, තරුෂි අභිෂේකා මෙම ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියේදීම මීට පෙර පැවැති කාන්තා මීටර 1500 ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටි අතර, මෙම ලෝකඩ පදක්කමත් සමඟ ඇය මෙවර තරඟාවලිය තුළ ලබාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙකක් (02) දක්වා ඉහළ නංවා ගැනීමට සමත්වීම සුවිශේෂී ඇගයීමකි.
මේ අතර, මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදීම ශ්‍රී ලංකාවට තවත් අභිමානයක් එක් කරමින් පිරිමි මීටර 800 ඉසව්වෙන් විශිෂ්ට රිදී පදක්කමක් දිනා ගැනීමට මෙරට යොවුන් ක්‍රීඩක නෙත්සර දිනෙත් ලියනගේ සමත් විය.
ඔහු අතිශය තියුණු තරඟයකින් අනතුරුව තත්පර 1:49.22 කින් ඉසව්ව නිමා කරමින් මෙම රිදී පදක්කම ශ්‍රී ලංකාව සතු කළේය. මෙම පිරිමි ඉසව්වේ රන් පදක්කම තත්පර 1:48.27 කින් තරඟය නිමා කළ ඉන්දියාවේ වෙන්කත්‍රාම් රෙඩ්ඩි ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදී.
මෙලෙස දක්ෂතා දැක්වූ මෙරට යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී පැවැත්වෙන ලෝක මට්ටමේ තරඟාවලි සඳහා ලංකාවට විශාල බලාපොරොත්තුවක් එක් කර තිබේ.