හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවණ රුක් රෝපණ වැඩසටහන ඇරඹෙයි
ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතාගේ සුවිශේෂී සංකල්පයකට අනුව දේශගුණික සමතුලිතතාවය සහ පරිසර සංරක්ෂණය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන "හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවණ" ජාතික පැළ සිටුවීමේ වැඩසටහන යටතේ විශේෂ රුක් රෝපණ ව්‍යාපෘතියක් අම්පාර දිස්ත්‍රික්කයේ, එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉරක්කාමම් වැව අසල සුන්දර භූමි පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විය.
මෙම සුවිශේෂී සමාරම්භක උත්සවය අම්පාර දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි මහතාගේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිලුප බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඊට ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව සිටියේය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් ප්‍රදේශයේ සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආශිර්වාද එක්කිරීම සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කළ ශ්‍රී ලාංකික වීරෝදාර මියගිය රණවිරුවන් අභිමානයෙන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබීය.
පසුව චිරාගත සම්ප්‍රදායානුකූලව මංගල පොල්තෙල් පහන දැල්වීම සිදු කෙරුණු අතර, අනතුරුව අම්පාර දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි මහතා විසින් නිල වශයෙන් ප්‍රථම පැළය රෝපණය කරමින් අම්පාර දිස්ත්‍රික්කය තුළ මෙම "හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවණ" වැඩසටහන ඉතා සාර්ථක ලෙස ආරම්භ කළේය.
මෙම හරිත මෙහෙවර සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් එක්ව සිටි අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිලුප බංඩාර, නාවික හමුදාවේ ගිනිකොණ දිග ආඥාපති රියර් අද්මිරාල් නිමල් රණසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්පාර අණදෙන නිළධාරි ගෘෘප් කපිතාන් ප්‍රභාත් ඇලෙක්සෙන්ඩර්, අම්පාර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බංඩාර කස්තුරිආරච්චි මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ කලාප අණදෙන නිළධාරි පොලිස් අධිකාරි කේසර රත්නවිර යන උසස් නිලධාරින්ද පරිසරය රැකගැනීමේ අරමුණින් රුක් රෝපණය සඳහා සක්‍රීයව දායකත්වය දැක්වීම විශේෂත්වයක් විය.