බන්ධනාගාර තුළ ධාරිතාව ඉක්මවයි. - අධිකරණ අමාත්‍යාංශ ලේකම්ගෙන් අනාවරණයක්.
බන්ධනාගාර තුළ ධාරිතාව 259%ක් බව ත් ඇතැම් බන්ධනාගාරවල මෙම අගය 300% – 400% දක්වා ඉහළ ගොස් ඇති බව ත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුවේදී) හෙළි කළේ ය.
ඒ අනුව, බන්ධනාගාර තුළ රැඳවූවන් 11,762ක සංඛ්‍යාවක් සඳහා පමණක් ඉඩකඩ පැවැතිය ද මේ වන විට 26,791ක ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටින බව ද මෙහිදී අධිකරණ අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා අනාවරණය කළා ය.
මෙම සංඛ්‍යාවෙන් 17,502ක් රිමාන්ඩ් සිරුකරුවන් ද ඉන් 10,470ක් අම මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බව ද මෙහිදී හෙළිවිය.
එසේ ම, වැරදිකරුවන් බවට අධිකරණයෙන් නියම වූ පුද්ගලයන් 9,289ක් සිටින බවත් ඉන් 3,569ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත සැකකරුවන් බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මේ අතරින් 1,309ක් දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින පිරිස බව ද මෙහිදී අනාවරණය විය.
මේ වන විට මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බව ද සඳහන් විය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මෙසේ අනාවරණය විය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිහිටුවීමේ පවතින පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව පනතක් සකස් කරන ලෙස මීට පෙර කෝපා කමිටුවෙන් නිර්දේශ කර තිබියදීත් එම කටයුතු ප්‍රමාද වීම කෙරෙහි කමිටුවේ අප්‍රසාදය පළ විය.
ඒ අනුව, මෙම කටයුතු අවසන් කිරීම පිළිබඳව නිශ්චිත කාල රාමුව සහිත වාර්තාවක් ජූලි 10 වන විට ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා නියෝග කළේ ය.
දඩ මුදල් ගෙවාගත නොහැකි පිරිස වෙසක් පොසොන් වැනි අවස්ථාවලදී විශේෂ සමාව යටතේ නිදහස් කළද නැවත කෙටි කලක් තුළ වැරදිකරුවන් ලෙස බන්ධනාගාරගත වීම විශාල ගැටලුවක් බව ද අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා මෙහිදී පැවසීය.
මේ අනුව, නව මධ්‍යස්ථාන 9ක පුනරුත්ථාපන කටයුතු සිදුවන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මෙම තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය යෝජනා සහ සැලසුම් කඩිනමින් සකස් කොට ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට කමිටුව දැනුම් දුන්නේ ය.
- මව්බිම -