අගමැති සහ හවුල්කාර පක්ෂ නායකයින් අද කරන්න යන වැඩේ මෙන්න..
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම සාකච්ඡාව අද පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය.
කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නළ පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එකඟතාවක් ඇතිවී තිබුණි. ඒ අනුව, අදාළ සාකච්ඡාව අද දිනයේ අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර, ඡන්ද ක්‍රමය සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අලුතින් පත්කර තිබේ.
ඒ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ලෙසය. අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා එහි සභාපතිත්වය දරයි.
මේ බව කථානායකවරයා ඊයේ (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර ඒ අනුව එහි සාමාජිකයන් සංඛ්‍යාව 17ක් බවට පත් වෙයි. නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරු ද ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු ද මෙම විශේෂ කාරක සභාව නියෝජනය කරනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
