ජනපති සමඟ විශේෂ පිරිසක් සාකච්ඡාවක් ..

Ranil Wickremesinghe Wickremesinghe Ranil SL Protest Go Home Ranil
By Sithumi Aug 05, 2022 02:40 PM GMT
Sithumi

Sithumi

Report

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජයගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායක කරගැනීමට තමන් අපේක්ෂා කරන බවද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් වියයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ. "අද අපේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදයයි.

වර්ජන සෑම කාලයකම පැවතුනා. වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙනයා නොහැකියි." යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. 

 සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා, එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

තමන් විසින් තරුණයින්ගේ අවශ්‍යතා රාජ්‍යයේද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සැළ සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.