2050දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ගැන ජනපති කියයි

By Sewvandhi Sep 25, 2021 04:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෘථිවියේ සෞඛ්‍යය සහතිකකිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (24) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ කෙරුණි. “සෑම කෙනෙකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම”

එහි තේමාව විය. මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍ය පවත්වාගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බව සංවාදය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව ජනපති පවසයි.

ඒ අනුව ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කරගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එහිදී ජනාධිපතිවරයා, වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහායවන ලෙසද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩවම කැපවී සිටින බවත් වසර 2030 වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවත් ජනපතිවරයා පවසයි. පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත් වී, කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වනවිට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම්සහගතව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha