රු. කෝටි 1590ක් පාඩුවූ නඩුවට - ජනපති අනුරට උසාවි යන්න වෙලා..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩුකිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක පාඩුවක් සිදුවූ බව කියන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 30 වැනිදා නියෝග කළේය.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ගොනුකළ පෙත්සම සලකා බැලූ අග්‍රවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, විනිසුරු මහින්ද සමයවර්ධන සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහමීමයන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළේය.
2020දී රුපියල් 50/- වූ සීනි බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් ලැබෙන ලාභය ජනතාවට ලබාදීම සඳහා ඒකාබද්ධ අරමුදලට බැරකිරීමට තිබූ නියමය කඩකරමින් පිරමීඩ් විල්මා සමාගමට රුපියල් බිලියන 15.95ක ලාභයක් ලැබීමෙන් රජයට එම පාඩුව සිදුවූ බව පෙත්සම්කරු චෝදනා කරයි. මෙම සහනය ජනතාවට නොලැබීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවත් ඔහු පවසයි.
පෙත්සම සංශෝධනයට අවසර ලබාදුන් අධිකරණය වගඋත්තරකරුවන්ට ජනවාරි 19 වැනිදා කරුණු දක්වන ලෙස නොතිසි නිකුත් කළේය. එමෙන්ම රුපියල් මිලියන 500ක වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් අයකර ගන්නා ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ හසිනි ඕපාත මහත්මිය පැවසුවේ CID පරීක්ෂණයේදී වංචාවක් සිදුවූ බවට සාක්ෂි හමුනොවූ බැවින් පෙත්සමට පදනමක් නැති බවයි.