ජනපති හා අගමැතිගෙන් විශේෂ නිවේදන දෙකක්..!

By Sewvandhi Oct 01, 2021 01:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිවරයා පවසනවා.

අදාළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම. වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය. පාසල් පන්ති කාමරය, ක්‍රීඩා පිටිය තවමත් අපේ දරුවන්ට දුරස්ථය. දැයේ දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.

අපගේ සමස්ත සැලසුම් ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ලෝකය වඩාත් ඉක්මණින් ඔවුන්ට සමීප කර දීමටය. තම දරුවන් විශිෂ්ටයන් ලෙස සමාජගත වන විට තෘප්තිමත් වන්නේ දෙමව්පියන් සහ භාරකරුවන් ම පමණක් නොවේ. එම සතුට සමස්ත මානව සමාජයම අත්විඳිනු ඇත.

එ බඳු අත්දැකීම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. අනාගතයේ ද එ බඳු දෑ නිර්මාණය වීම නතර නොවේ. එ බැවින් වැඩිහිටියන් වශයෙන් අපි, ගුණ නැණින් යුතු දරු පරපුරක් රටට ලෝකයට දායාද කිරීමට නම් දරුවා දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පූර්ණත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිමක් සලසා දිය යුතුමය. දෙමාපියන්ගේ සදාතනික සිතුවිල්ල වන “සියල්ලට පෙර දරුවන්” ය යන්න මෙවර ලෝක ළමා දින තේමාව බවට පත්ව තිබේ.

ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා, පහසුකම් සහ අවස්ථා සලසා දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත්කරමින් සිටින බව සිහිපත් කරමි. සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකිය.

එ බැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඒ ජීවිතය යනු ආපසු හැරවිය නොහැක්කක් බැවිනි. මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත් සියලුම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් ඔබ සැමට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ

2021 සැප්තැම්බර් මස 30 වන දින.

රජයක් ලෙස අපි හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටින බව ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අදාළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම. ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමකි. වැඩිහිටියන්ට එම යුතුකම මතක්කර දෙමින් සැමරෙන “ලෝක ළමා දින” සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි. ලොව ලස්සන වන්නේ දූ දරුවන්ගෙනි.

එමෙන්ම රටක මෙන්ම ලෝකයේ අනාගතය රැඳී ඇත්තේ ළමා පරපුර මතය. ඔවුන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා අතිශය සුන්දරය. ඒ මිහිර ඔවුන්ට බාධාවකින් තොරව හිමිකර දීම වැඩිහිටියන් සතු වගකීමකි. මේ බව තේරුම් ගනිමින් රජයක් ලෙස අපි හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටිමු. ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක් අනාගතයේ අඳුරු දුරලනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ද අපි ඊට ප්‍රතිඥා දී ඇත්තෙමු. ඒ අනුව පසුගිය කාලය තුළ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ හා ළමා මෙහෙකාර සේවය සමාජයෙන් ඈත් කිරීම සඳහා වූ අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ලැබීම අප ලැබු ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව අන් රටවල මෙන්ම අපේ රටේ දරුවන්ගේ ළමා කාලය අතිශය සංකීර්ණ වී තිබේ.

නිදහසේ දුව පැන යෑමේ නිදහස අහිමිව නිවෙස්වලට කොටුවීම දරුවන්ට පීඩාවක් ගෙන දෙන බව නොරහසකි. ඒ නිසා ගෝලීය වසංගතයක් පවතින මෙවන් කාලයක දරුවන්ව නිවසේ දී මානසික පීඩාවන්ට ලක්නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන්නැයි දෙමාපිය වැඩිහිටියන්ගෙන් මා ඉල්ලා සිටිමි. දරුවන් සඳහා අවශ්‍ය කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය දැනටමත් රජය විසින් ආරම්භ කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් එය කඩිනමින් අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව සළසා තිබීම ප්‍රශංසනීය වේ. “සියල්ලට පෙර දරුවන්” තේමාවෙන් ශ්‍රී ලංකාව මෙවර අර්ථවත්ව සමරන ලෝක ළමා දින අභිමතාර්ථ සාර්ථක කර ගැනීම උදෙසා කැපවන්නැයි ඉල්ලා සිටිමි. අපි දරුවන්ගේ ලෝකය ලස්සන කරමු.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha