තැපැල් භාණ්ඩ සඳහා අද සිට නව බදු...අන්තර් ජාල ගනුදෙනු කරුවන්ට විශේෂවේ.

Sri Lanka Postal service
By Aruna Jul 01, 2021 03:46 AM GMT
Report

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා යොමු කරන ලිපි හැර සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අදාළ වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇති පරිදි තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මඟින් අලෙවි කටයුතුවල නිරතවන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සඳහා එම බදු ප්‍රතිපත්තීන් අදාළ වේ.

ඒ අනුව යූරෝ 150ට අඩු වටිනාකමකින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත සෘජුවම වැට් බදු ගෙවිය යුතු බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම යූරෝ 150ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී භාණ්ඩය ලබාගන්නා පුද්ගලයාගෙන් අය කර ගැනීමට නියමිතය.

කෙසේවෙතත් වැට් බදු මුදල් සහ මෙහෙයුම් ගාස්තු ගෙවා භාණ්ඩය භාර ගැනීමට ක්‍රියා නොකළහොත් අදාළ රටේ තැපැල් පරිපාලනය හෝ රේගුව එම භාණ්ඩ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ පාරිභෝගිකයින්ට වගකීමක් දැරීමට සිදුවේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එම බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිදු අයුරකින් වගකීමක් නොදරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මහජනතාවට දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now