පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිසා බගවන්තලාව පොලිසිය කැළඹෙයි - නිදන් ඉද්දි තව නිලධාරියෙක්ට පිහියෙන් ඇනලා
බගවන්තලාව පොලිසියේ බැරැක්කියේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධකින් ඇන බරපතළ ආකාරයට තුවාල සිදු කිරිම නිසා එම පොලිස් කොස්තාපල්වරයා අද (07) දින අලුයම දික්ඔය මූලික රොහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එහිදී අධික ලෙස බීමත්ව සිටි පොලිස් නිලධාරින් දෙදෙනා පොලිස් ස්ථානය තුළදී ඊයේ (06) දින රාත්‍රියේ බහින්බස් වීමක් සිදු වි ඇත.
අනතුරුව බහින් බස් වීමට සම්බන්ධ වූ අනෙක් පොලිස් කොස්තාපල්වරයා නිදා සිටියදී තියුණු ආයුධයකින් උදරයට ඇන තුවාල සිදු කර ඇති බව හැටන් කොට්ටාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කළා.
මේ අතර බගවන්තලාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පැවසුවේ මැණික් ජවාරම්කරුවන් සමඟ සෘජු සම්බන්ධකම් පවත්වන බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරින් රාත්‍රි කාලයේ අධික ලෙස බීමත්ව සිටින බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, බගවන්තලාව පොලිසිය සම්බන්ධයෙන් මහජනතාව නගන චෝදනා සම්බන්ධයෙන්ද විධිමත් පරික්ෂණයක් පවත්වන බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා ඇත.