අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගනී - මියගියේ සජබ අපේක්ෂකයෙක්
අද දින අම්බලන්ගොඩ නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී උදෑසන වෙඩි තැබීමක් සිදු වී තිබේ. ඒ අනුව එලෙස වෙඩි තබා සැකකරුවන් පලා ගියේ මෝටර් රථය සොයාගෙන තිබේ.
කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ සැකකරුවන් විසින් දමා ගොස් තිබිය දී අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෝටර් රථය සොයා ගෙන ඇත.
වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර බෙංවල එගොඩවෙල හරහා ගමන් කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයක පැමිණි පිරිසක් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.
මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී තිබේ. එලෙස මියගිය පුද්ගලයා 54 හැවිරිදි අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟවැද පරාජයට පත්ව ඇති බව සඳහන්.
මෙලෙස මිය ගිය පුද්ගලයා විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන 'කරන්දෙණිය සුද්දා' නම් අපරාධකරුගේ මස්සිනා බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හෙළිවන කරුණු අතර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ව්‍යාපාරිකයෙකු වන එම පුද්ගලයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ක්‍රියාත්මක කරයි.