"සංචාරක වීසාවලින් රැකියාවලට යන අයට අමාත්‍යාංශයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - ඩුබායි, ඕමාන්, මැලේසියා යන අයට වහාම නිකුත් වූ නිවේදනය!
විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකිකයින් නොමඟ යැවීමේ සිදුවීම් ඉහළ යමින් පවතින බව පෙන්වා දෙමින්, රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත විදේශගත වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ජනතාවට අනතුරු අඟවා තිබේ.
අද (11) නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් අමාත්‍යාංශය සඳහන් කළේ, රැකියා ලබාදෙන බවට වූ පොරොන්දු මත සංචාරක වීසා භාවිත කරමින් මැලේසියාව, ඩුබායි සහ ඕමානය ඇතුළු රටවලට ගොස් ඇති ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේ වන විට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි.
සංචාරක වීසා බලපත්‍රයක් යනු රැකියා සඳහා අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් නොවන බව අවධාරණය කළ අමාත්‍යාංශය, එවැනි වීසා මත විදේශ රැකියාවල නිරත වීම ගමනාන්ත රටේ නීතිරීති උල්ලංඝනය කිරීමක් විය හැකි බවද පෙන්වා දී ඇත. මෙලෙස විදේශගත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීම වැනි නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි අතර, වංචා සහ මිනිස් ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානමක්ද පවතින බව අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
එමෙන්ම පොරොන්දු වූ රැකියාව නොලැබීම, වැටුප් නොගෙවීම හෝ පොරොන්දු වූ මුදලට වඩා අඩු වැටුප් ලැබීම, විදේශ ගමන් බලපත්‍ර අහිමි වීම සහ දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දීම වැනි ගැටලුවලටද එම පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවිය හැකි බව සඳහන් කර ඇත. විශේෂයෙන්ම, විදේශගත වූ පසු සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කළ හැකි බවට හෝ අදාළ රටට පැමිණි පසු රැකියාවක් ලබාදිය හැකි බවට කරන පොරොන්දුවලට නොරැවටෙන ලෙසද අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
විදේශ රැකියා අපේක්ෂා කරන සියලුම දෙනා නීත්‍යානුකූල බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතු අතර, විදේශගත වීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි වීම අනිවාර්යයෙන් සිදුකරන ලෙසද අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ ආරක්ෂාව, මූල්‍ය ස්ථාවරත්වය සහ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම සඳහා නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.