හෙට 2027 අයවැයෙන් ජනතාවට මොනවා ලැබෙයිද? - රටේ ආර්ථික පරිවර්තනයට අලුත් පදනමක් දමන බව නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත කියයි [VIDEO]
2027 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය හුදෙක් ආදායම් හා වියදම් පිළිබඳ සංඛ්‍යාලේඛන ඇතුළත් ලේඛනයක් ලෙස නොව, රටේ ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කරන අයවැයක් ලෙස සැලකිය යුතු බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
හෙට (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ අයවැය විශ්ලේෂණය කිරීමේදී එහි සඳහන් ආදායම් හා වියදම් සංඛ්‍යාලේඛන පමණක් නොව, අමාත්‍යාංශ හා වැය ශීර්ෂ අනුව රාජ්‍ය මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඒවා යොමුකර ඇති සංවර්ධන ක්ෂේත්‍ර පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේ සිට ජනවරමට අනුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ ඉදිරි පියවරක් ලෙස මෙවර අයවැය සැලකිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
බිඳවැටුණු ආර්ථිකයක් සහිත රටක් පරිවර්තනය කරා ගෙන යාම සඳහා මුලින්ම අවශ්‍ය වූයේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම බවත්, පසුගිය අයවැය දෙක සහ රජයේ ප්‍රතිපත්තිමය තීරණ හරහා අපේක්ෂා කළ කාලයටත් වඩා අඩු කාලයකදී එම ස්ථාවරත්වය අත්කර ගැනීමට හැකි වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එම ස්ථාවරත්වයෙන් අනතුරුව රටේ සැබෑ ආර්ථික පරිවර්තනය සිදු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන වැඩි කිරීම, නව ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීම, ජනතාව ඒ සඳහා සම්බන්ධ කර ගැනීම සහ ඊට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීම කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමුකර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව යටිතල පහසුකම්, අත්‍යවශ්‍ය සේවා සහ ජනතාවට ලබාදිය යුතු සහන සඳහා රාජ්‍ය මූල්‍ය සම්පත් වෙන්කර ඇති ආකාරය අයවැය ඉදිරිපත් කිරීමේදී පැහැදිලි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මගින් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන දෙකක මුදලක් වෙන්කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම රට තුළ පැවති ආර්ථික අර්බුදයට අමතරව දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය වැනි අපේක්ෂා නොකළ අභියෝග මධ්‍යයේ වුවද ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට රජයට හැකි වී ඇති බව ඔහු පැවසීය.
රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාම, රාජ්‍ය වියදම්වලදී වංචා, දූෂණ හා නාස්තියට ඉඩ නොතැබීම සහ බදු මුදල් ජනතාවට සේවා සැපයීම සඳහා යොදාගැනීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව ද ඔහු අවධාරණය කළේය.
ආදායම් හා වියදම් කළමනාකරණය කරමින් ණය තිරසරභාවය ආරක්ෂා කරගැනීම ද මෙහිදී වැදගත් වන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම මෙවර අයවැයේ ප්‍රධාන අරමුණක් බව වැඩිදුරටත් පැවසීය.