මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්
උඩුගම්පොළ සතිපොළ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කරමින් හැසිරෙන කාන්තාවක් පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට පොලීසිය මඟින් නිවේදනයක් නිකුත් කර කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.
ඒ අනුව අදාළ වීඩියෝවේ එම කාන්තාව පොලිසියේ උසස් නිලධාරියෙකුගේ නැගණිය යනුවෙන් නම පවසමින් පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කරයි.
කෙසේ වුවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සැකකාර කාන්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පවසයි.
එසේම ඇයට එවැනි කිසිම සබඳතාවයක් නැති බව ද අඳාළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්,
"රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් කාර් රථයක් නවත්වන ලද අවස්ථාවේ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කරමින් සහ එම කාන්තාව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරන වීඩියෝවක් මේ වනවිට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝපටයට අදාළ සිදුවීම 2025.10.31 වන දින ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ උඩුගම්පොළ මාර්ගයේ සිදුව ඇති අතර, කාර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් රථවාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේදී, කාර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථ වාහන නිලධාරීන් විසින් මෙම කාර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේදී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදී මෙසේ හැසිරී ඇත. අනතුරුව මෙම ස්ථානයෙන්ද මෙම කාන්තාව පොලිස් අණ නොතකා රථය ඉදිරියට ධාවනය කර ඇති අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දිය ප්‍රදේශයේදී රථය නවත්වාගෙන මෙම සැකකාර කාන්තාව එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකාර කාන්තාව, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදු කරන ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයක් වන අතර එවැනි කිසිම සබඳතාවයක් අනාවරණය වී නොමැත. ඒ අනුව, සැකකාරිය අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම හා අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ 2025.11.01 වන අද දින ගම්පහ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය."