පාදෙණියේ ගුවන් අනතුර ගැන ඇමති බිමල් බොරු කියලා?
පාදෙණිය ප්‍රදේශයේදී කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවක් ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කරයි.
එබැවින් අනතුරට හේතුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, විමර්ශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බවත් ඔහු පැවසීය.
මෙම අනතුර පිළිබඳ විමර්ශනය සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් පුද්ගලයන් සත්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
කෙසේ වුවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් අනතුරට ලක් වූ ගුවන් යානයේ කිසිදු යාන්ත්‍රික දෝෂයක් නොතිබූ බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් පැවසීය;
"ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කුරුණෑගල, පාදෙණිය, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටුණු සිද්ධිය සම්බන්ධ වාර්තාව මම ආරක්ෂක ලේකම්තුමාගෙන් ගෙන්වා ගත්තා. ඒ පසුගිය 21 වැනිදායි. එතුමා ඒ වාර්තාව ජනාධිපතිතුමාට හෝ මාධ්‍ය සඳහා සකස් කරලා තිබුණා විදිහට මම හිතනවා. ඒ වාර්තාවට අනුව, විශේෂයෙන් ආරක්ෂක ලේකම්තුමා පැහැදිලි කළ විදිහට - එතුමාත් හිටපු ගුවන් හමුදාපති කෙනෙක් - ඒ ගුවන් යානයේ බඳේ පරණකමක් හෝ එවැනි ගැටලුවක් තිබුණේ නැහැ.
ගුවන් යානයේ එන්ජිමේත් කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද අපි පරණ වාහන පාරේ ධාවනය කළත්, ගුවන් යානා එහෙම ධාවනය කරන්න බැහැ. ඒවාට අනිවාර්යයෙන්ම අදාළ බලපත්‍ර ලබාගෙන තමයි භාවිත කරන්නේ. ඒ නිසා ඒ යානය පරණ එකක් නෙවෙයි. එකම දේ තමයි, පුහුණුවීමේදී යානයේ ‘L’ ලකුණක් තිබුණේ නැති වුණත්, ඒ ගියේ පුහුණුවෙන කණ්ඩායමක්. ඉතින් ඔවුන්ගෙන් සිදු වූ අත්වැරැද්දක් තමයි මේකට හේතුව. අපි සතුටු වෙනවා අඩුම තරමේ ඒ නියමුවන් දෙදෙනා බේරුණ එක ගැන.
මගේ දැනුම අනුව, ඒ වාර්තාවට බැලුවොත් ප්‍රදේශයට විශාල දේපළ හානියක් සිදු වෙලා නැහැ. නමුත් ගස්වැල් වගේ දේවල්වලට යම් හානියක් වෙලා තිබෙනවා. ඉතින් ඒක බැලුවොත්, පුහුණුවීම්වලදී අපේ රටේ වගේම ලෝකේ ඕනෑම රටක සිදු වෙන සාමාන්‍ය දෙයක් තමයි මේ. ඊට වඩා වෙනත් කිසිම හේතුවක් මේකට සම්බන්ධ නැහැ කියන එක තමයි තාක්ෂණික වාර්තාවෙන් පේන්න තියෙන්නේ."
