තවත් සෞඛ්‍ය අංශයක් වැඩවර්ජනයක් අරඹයි (VIDEO)

covid19 PHI strike quarantine mahendra balasooriya
By Sewvandhi Jul 03, 2021 07:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙද සේවයේ වෘත්තීය ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමේදී සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 13කට අසාධාරණයක් වී ඇතැයි අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඊට විරෝධය පළකරමින් එම වෘත්තීය සමිති 13ක් අද (03) පෙරවරු 08 සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල අද ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන්වලට දැඩි බාධා එල්ල වී තිබුණි. අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

"ජනාධිපතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෘත්තීය ඉල්ලීම් ඉටු කිරීමේදී අනෙකුත් වෘත්තීන්වල සමබරතාවය ගිලිහෙන විදිහට ඒ ඉල්ලීම් ඉටුකරයි කියලා අපි බලාපොරොත්තු වුණේ නෑ. උසස්වීම් පටිපාටිය හෙද සේවාවට පමණක් සුවිශේෂි වෙන ආකාරයට උසස්වීම් කාලසීමාව අඩු කරපු එකත් එක වෘත්තියක පමණක් නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම සම්බන්ධවත් දැඩි අප්‍රසාදය පළ කරනවා. සඳදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කරා යන්නත් තීරණය කළා," යනුවෙනි.

මේ අතර හෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 07.00ට අවසන් කෙරුණි. මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව පසුගිය පළමුවැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.

මේ හේතුවෙන් රෝහල්වල කටයුතු පසුගිය දින දෙක තුළ අඩාලව පැවතුනි. අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, සෞඛ්‍ය බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වීමෙන් අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 7න් 5කට කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම් වසර පහක් ලෙස සහ ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම, රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම, දැනට පැය 36ක්ව පවතින රාජකාරි කාලය සතියකට දින පහක ( පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමුකිරීම යන කරුණු වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එහිදී තීරණය කළ බවය.

සෙසු ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබා දීමට ජනාධිපතිවරයා එහිදී එකඟත්වය පළකර තිබුණි. ඒ අනුව රුපියල් දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යංශය චක්‍රලේඛයක් මගින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබාදීමට එකඟතාව පළ වී තිබේ.

ඒ අනුව හෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 07.00ට අවසන් කෙරුණු අතර රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now