මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ ජනප්‍රිය පූසෙකුටත් රැකියාවක් - ලෝකයම පුදුම කළ සිදුවීමක්
මුම්බායි නුවර ගුන්ඩාවලි මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ නිතර දැකගත හැකි රන්වන් පැහැති බළලෙකුට විහිළුවට මෙන් නිල තනතුරක් ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙට්‍රෝ මගියෙකු වන සන්දේෂ් සමන්ත් විසින් ගුන්ඩාවලි දුම්රිය ස්ථානයේ පිවිසුම ආසන්නයේ සිටින මෙම බළලාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණි. එම ඡායාරූපය සමඟ ඔහු මුම්බායි මෙට්‍රෝ මෙහෙයුම් සමාගම වෙත විහිළුවට මෙන් ඉල්ලීමක් කරමින්, දුම්රිය ස්ථානයේ නොමිලේ සේවය කරන මෙම බළලාට නිල තනතුරක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
මගියාගේ මෙම අපූරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අදාළ මෙට්‍රෝ සමාගමද විහිළුවට එක්වී බළලාට “Chief Feline Officer” හෙවත් “ප්‍රධාන බළල් නිලධාරී” යන නිල නොවන තනතුර ලබාදී තිබේ. සමාගම සඳහන් කර ඇත්තේ එම “නිලධාරියාගේ” රාජකාරි අතර දුම්රිය ස්ථානය පරීක්ෂා කිරීම, මගීන් නිරීක්ෂණය කිරීම සහ සියලු දෙනාට පෙනෙන ස්ථානයක හිඳීම ඇතුළත් වන බවයි.
එමෙන්ම බළලාගේ කාර්ය සාධනය මේ වන විට “පූර්ෆෙක්ට්” බවටද සමාගම හාස්‍යජනක ලෙස සඳහන් කර තිබේ. මෙම සටහනට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන්ද විවිධ ප්‍රතිචාර ලැබී ඇති අතර, ඇතැමුන් පවසා ඇත්තේ තමන් සෑම උදෑසනකම ගුන්ඩාවලි දුම්රිය ස්ථානයේදී මෙම බළලා දැකීමට බලාපොරොත්තු වන බවයි.
තවත් පරිශීලකයෙකු විහිළුවට මෙන් සඳහන් කර ඇත්තේ අද සිට එම බළලා “ප්‍රධාන මීයන් අල්ලන්නා” ලෙස පත් කළ යුතු බවයි. මේ වන විට මෙම අපූරු “නිලධාරියා” සම්බන්ධ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් තිබේ.