ඕස්ට්‍රේලියාවෙන් පළමු වරට ක්ෂීරපායී සතෙකුට H5N1 කුරුළු උණ- සීල් මත්ස්‍යයෙකුගෙන් වෛරසය හඳුනාගැනේ
ඕස්ට්‍රේලියාව තුළ ක්ෂීරපායියෙකුගෙන් වාර්තා වූ පළමු H5N1 කුරුළු උණ ආසාදනය තහවුරු කර තිබේ.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක මියගොස් සිටි දිගු නාසයක් සහිත ලොම් සීල් මත්ස්‍යයෙකුගෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇත.
බීච්පෝර්ට් ප්‍රදේශයෙන් හමුවූ මෙම සීල් මත්ස්‍යයා ඇඩිලේඩ් නගරයට කිලෝමීටර් 310ක් පමණ දකුණින් පිහිටි වෙරළබඩ ප්‍රදේශයකදී සොයාගෙන තිබේ.
බලධාරීන් සඳහන් කළේ එම සත්වයාගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබූ බවයි.
දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සීල් මත්ස්‍යයින් 100,000ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර, මියගිය සත්වයාගේ මරණය වෙනත් රෝගී හෝ මියගිය සාගර ක්ෂීරපායීන් සමඟ සම්බන්ධ බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැත.
ෆෙඩරල් කෘෂිකර්ම අමාත්‍ය ජූලි කොලින්ස් සඳහන් කළේ ස්වභාවික පරිසරය තුළ H5 වෛරසය පැතිරීමත් සමඟ සැලකිය යුතු සත්ව හානි වළක්වා ගැනීම අපහසු විය හැකි බවයි. ඕස්ට්‍රේලියාව මේ වනවිට අධික ව්‍යාධිජනක කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටී.
වෛරසය මුලින්ම සංක්‍රමණික මුහුදු පක්ෂීන්ගෙන් හඳුනාගැනීමෙන් පසු, මේ මාසයේදී වෛරසය හේතුවෙන් විශාල වශයෙන් දේශීය මුහුදු පක්ෂීන් මියගිය බවද වාර්තා වී ඇත.
සීල් මත්ස්‍යයින් වෙරළාසන්න පාෂාණමය ප්‍රදේශවල වල් පක්ෂීන්ට ආසන්නව ජීවත් වන බැවින් ඔවුන්ට වෛරසයට නිරාවරණය වීමේ අවදානම ඉහළ බව දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි ස්කයි ෆෲයින් පැවසුවාය.
කුරුළු උණ වාර්තා වූ අවසන් මහාද්වීපය ඕස්ට්‍රේලියාව වන අතර, 2025 අගභාගයේදී හර්ඩ් දූපතේදී වෛරසය හඳුනාගෙන තිබිණි. එහිදී සීල් පැටවුන් 13,000කට වැඩි සංඛ්‍යාවක් වෛරසය හේතුවෙන් මියගිය බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ කුකුළු කර්මාන්තයෙන් හෝ කෘෂිකාර්මික අංශයෙන් H5N1 ආසාදන මෙතෙක් වාර්තා වී නොමැති බව ෆෙඩරල් රජය සඳහන් කර තිබේ. සිකුරාදා වනවිට රට පුරා කුරුළු උණ ආසාදන 297ක් තහවුරු කර තිබූ බවද රජය පැවසීය.