දෙවන රන්දෝලි පෙරහර හෙට වීථි සංචාරය කරයි- මහනුවර නගරයට විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක්
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර හෙට (24) වීථි සංචාරය කිරීමට නියමිතය ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර තිබේ .
ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 18 වන දින ආරම්භ වූ අතර අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වීමට නියමිතය .
පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගල පරීක්ෂාව, සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම රථවාහන ගාල් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබේ
හෙට (24) පස්වරු 7.00ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වන දෙවන රන්දෝලි පෙරහර, කිලෝමීටර් 1යි මීටර් 950 ක දුරක් වීථි සංචාරය කිරීමට නියමිතව ඇත විකල්ප මාර්ග - කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකිය.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවතඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කල හැක.
එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය. නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැක.
තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේ කුඹුර දෙසට ගමන් කළ හැකිය.
කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කළ හැකිය.
