දරුණු අනතුරක් - සාගරිකා දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටෙයි රියදුරු මරුට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුත්ගම, ගනේගම පුරාණගම පන්සල අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී අද (23) පස්වරුවේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ 'සාගරිකා' ශීඝ්‍රගාමී දුම්රියේ ත්‍රීරෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා සහ නාද පද්ධති ක්‍රියාත්මක වුවද, ආරක්ෂක ගේට්ටුවක් නොමැති වීම හේතුවෙන් නිරන්තරයෙන් මෙවැනි මාරක අනතුරු සිදුවන බව පවසමින් කෝපයට පත් ප්‍රදේශවාසීහු දුම්රිය මාර්ගය හරස් කර උද්ඝෝෂණයක නිරත වූහ.
එම විරෝධතාව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. පසුව ස්ථානයට පැමිණි පොලීසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත්වී අදාළ හරස් මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් ලබාදීමට පියවර ගන්නා බවට වූ පොරොන්දුව මත ප්‍රදේශවාසීන් විරෝධතාව අවසන් කළ අතර, මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.