පැනමා ඇළේ නෞකා තදබදය ඉහළට - පෝලිම මඟහැරීමට ඩොලර් මිලියන 4ක් ගෙවයි

Report

ඉරාන යුද්ධය හේතුවෙන් ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගවල තදබදය ඉහළ යාමත් සමඟ පැනමා ඇළ හරහා ගමන් කිරීමට ඇති පෝලිම මඟහැරීම සඳහා බහාලුම් නෞකාවක් ඩොලර් මිලියන 4ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

Seaspan Benefactor නමැති නෞකාවේ හිමිකරු විසින් මෙම මුදල ගෙවා පැනමා ඇළේ සාමාන්‍ය පෝලිම මඟහැර ඉදිරියට යාමට අවස්ථාව ලබාගෙන ඇති බව මේ පිළිබඳ තොරතුරු දන්නා පාර්ශ්ව සඳහන් කරයි.

මෙම මුදල පැනමා ඇළේ පෝලිම මඟහැරීම සඳහා වෙන්දේසි ක්‍රමය යටතේ මෙතෙක් ගෙවා ඇති ඉහළම මුදල් ප්‍රමාණයන් අතරට එක්වන අතර, පසුගිය දින හතේ සාමාන්‍ය වෙන්දේසි මිල මෙන් දෙගුණයකටත් වැඩි බව සඳහන් වේ.

හෝමුස් අර්බුදය හමුවේ ලෝක තෙල් මිල යළිත් අහස උසට

හෝමුස් අර්බුදය හමුවේ ලෝක තෙල් මිල යළිත් අහස උසට

සාමාන්‍යයෙන් පැනමා ඇළ හරහා නෞකා ගමන් කිරීම සඳහා කලින් වෙන්කරගත් අවස්ථා අනුව ස්ථාවර ගාස්තුවක් අය කෙරේ. එහෙත් සාමාන්‍ය පෝලිම මඟහැරීමට අවශ්‍ය නෞකා සඳහා වෙන්දේසි ක්‍රමයක්ද පැනමා ඇළ අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර මාර්ගවල නාවික ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී තිබීම නිසා ඇතැම් නෞකා විකල්ප මාර්ග සොයා ගැනීමට පෙළඹී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අත්ලාන්තික් සහ පැසිෆික් සාගර සම්බන්ධ කරන පැනමා ඇළේ නෞකා තදබදයද ඉහළ ගොස් ඇත. ද්‍රව පෙට්‍රෝලියම් වායු, ද්‍රව ස්වභාවික වායු, බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන රැගෙන යන Neopanamax ප්‍රමාණයේ නෞකා සඳහා වෙන්කරගත් ගමන් අවස්ථාවක් නොමැති නම් දින 10ක් පමණ පෝලිමේ රැඳී සිටීමට සිදුවන බව Argus Media දත්ත පෙන්වා දෙයි.

Seaspan Benefactor නෞකාව පැනමා ඇළ වෙත පැමිණීමට පෙර දකුණු කොරියාවේ සිටි බවත්, අඟහරුවාදා වනවිට ඇළේ පැසිෆික් සාගර දෙසින් පිහිටි ප්‍රදේශයේ ගමන් අවස්ථාව බලා සිටි බවත් නාවික ගමනාගමන දත්ත අනුව වාර්තා වේ.

පැනමා ඇළ අධිකාරිය සඳහන් කර ඇත්තේ ගෝලීය වෙළෙඳපොළේ සැපයුම් සහ ඉල්ලුම් රටාවන්හි සිදුවන වෙනස්කම් හේතුවෙන් වෙන්දේසි ගාස්තු ඉහළ ගොස් ඇති බවයි. ඇතැම් වෙන්දේසි ගාස්තු ඩොලර් මිලියනය ඉක්මවා ඇති බවද එම අධිකාරිය පිළිගෙන තිබේ.

මේ අතර, ඇළේ නාවික දොරටුවල සිදුකෙරෙන නඩත්තු කටයුතුද තදබදයට බලපා ඇති අතර, එම කටයුතු සැප්තැම්බර් මාසය දක්වා පැවතීමට නියමිතය. එමෙන්ම එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අපේක්ෂිත මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම නිසා Neopanamax නාවික දොරටු හරහා ගමන් කරන නෞකාවලට අවසර දෙන උපරිම ගැඹුරද ඉදිරි සති කිහිපය සඳහා සීමා කිරීමට පැනමා ඇළ බලධාරීන් පියවර ගෙන තිබේ.

සුපිරි පාපන්දු තරුව රොනාල්ඩෝ විවාහ දිවියට - වසර 10ක ආදරය කතාවක්

සුපිරි පාපන්දු තරුව රොනාල්ඩෝ විවාහ දිවියට - වසර 10ක ආදරය කතාවක්