මේ ප්‍රදේශයට මිලිමීටර් 200කට වැස්සක් - ජීවිතේ රැකගන්න උපදෙස්
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 200කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) සදහන් කරයි. මෙම අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ මුලික ලක්ෂණ දක්නට ලැබෙන ස්ථානවල නායයෑම් අවදානම ඉහළ යාමක් පවතින බවද එම සංවිධානය අවධාරණය කරයි.
ඒ අනුව එම ප්‍රදේශවල පදිංචි ජනතාවට අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත්, තම ජීවිත ආරක්ෂා කරගැනීමට අවධානය යොමු කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, වර්තමානයේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට නායයෑම් අවදානම සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මැදදුම්බර සහ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම රතු නිවේදන බලපායි.
පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාවත් සමඟ නායයෑම්වල පූර්ව ලක්ෂණ බොහෝ ප්‍රදේශවල දැකගත හැකි බැවින්, නිවාස හෝ ගොඩනැඟිලිවල ඉරිතැලීම්, බිම් ඉරිතැලීම් හෝ පස් සෙලවීම වැනි ලක්ෂණ පවතින්නේ නම් එම ස්ථාන වෙත නොයන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.
එවැනි ස්ථාන නැවත නායයෑමකට හෝ කණ්ඩි කඩා වැටීමකට ලක්විය හැකි බැවින්, අවදානම් සහිත ප්‍රදේශවලින් මඟහැර සිටිමින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.