හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව පහරදීමකින් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බැවින්, මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
පෙරේදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හෝටලයක පැවැත්වූ මෙම සාදය අතරතුර දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණි.
එහිදී මියගියේ හිරිපිටිය, නිකදළුපොත පදිංචිව සිටි 19 හැවිරිදි යසිත් චතුක නමැති සිසුවාය. ඔහු එම විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව ගැටුමට මුල් වී ඇත්තේ සාදය අතරතුර සිසුවියන් කිහිපදෙනෙකු වැසිකිළි වෙත ගිය අවස්ථාවේදී තවත් සිසුවෙකු ඔවුන් පසුපස යාම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමකි.
කෙසේ වෙතත්, ස්ථානීය CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මියගිය සිසුවා හෝටලයේ පිහිණුම් තටාකය අසල ඇද වැටෙන අයුරු දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කළේය.
මූලිකව මෙය පහරදීමකින් සිදු වූ මරණයක් බවට සැක කළ ද, වෛද්‍ය වාර්තා අනුව එය තවමත් තහවුරු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, ගැටුමෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මියගිය සිසුවාගේ දේහය මේ වන විට අවසන් කටයුතු සඳහා ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.