මාලිමා රජයේ ක්‍රියාවලින් රාජ්‍ය සේවකයා අනාථයෙකු බවට - සජිත්ගෙන් චෝදනා

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් බලයට පැමිණි වත්මන් රජය අද රාජ්‍ය සේවකයා අනාථ කර ඇති බවයි.

මෙම රජය බිහිකිරීමට දැවැන්තම ජන වරමක් ලබා දුන් රාජ්‍ය සේවක ප්‍රජාව වෙනුවෙන් රජය ඉටු කරන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවේදීය. වත්මන් රජය වෙනුවෙන් ලක්ෂ 14-15ක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉහළ ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කළ බවත්, එම දැවැන්ත ජන වරම තුළදී රාජ්‍ය සේවකයා තෘප්තිමත් දැයි ගැටලුවක් ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලි බල මණ්ඩලයේ සේවකයින් 23,000කට ආසන්න පිරිසක් අනාථ කර ඇති බවත්, විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කොටස්වල ලොකු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවීමත්, තරගකාරීත්වය සහිත නව වැඩසටහනකට යාමත් සමඟ මෙම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

එදා විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු එහි පිහිටෙන් කඩුවෙල නගරාධිපතිවරයා බවට පත්වූ පසු, විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයින් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.