ලොකු බිත්තර ප්‍රශ්නයක් - ඒවා කාලත් ඉවරයි
බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා ගියහොත් ඉදිරි උත්සව සමයේදී කේක් කිලෝවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කරයි.
ඒ අනුව බටර් කේක් කිලෝග්‍රෑමයක මිල රුපියල් එක්දහස් පන්සියය (1,500) දක්වා ඉහළ යනු ඇති බවත් මේ වනවිට රට තුළ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති හෙයින් ඊට කඩිනමින් විසඳුම් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සීදූව රද්දොළුගම පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීයි.
එසේම ඔහු කියා සිටියේ බිත්තර නිෂ්පාදක හිමියන්ගේ සංගමය පවසන පරිදි රට පුරා ගොවිපළවල සිටි බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30ක් පමණ ගංවතුරට හසුවී විනාශ වී සිටින බවයි.
මේ නිසා ඉදිරියේදී බිත්තර සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවද බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30ක් නැවත ගොඩනගා ගැනීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා ඇත.
ඒ අනුව බිත්තරයක මිල මේ වනවිට රුපියල් 40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් බිත්තර සැපයුම සම්බන්ධයෙන් රජය ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බවත් කී ඔහු බිත්තර ප්‍රමාණවත් පරිදි නොලැබුණහොත් බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් පවතින බවත් සඳහන් කළා.
ඊට අමතරව ජනතාවට අඩුම මුදලකට පෝෂණය ලබා ගැනීමට තිබෙන එකම ආහාරය බිත්තරය බවත් බිත්තර ගැටලුව විසඳීමට වහාම මැදිහත්වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටින බවත් පැවසුවා.
තවද ලංකාවේ වැඩියෙන්ම බිත්තර අලෙවි වන්නේ දෙසැම්බර් මාසයේදී බවත් පාන් හැර කේක් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවලට බිත්තර යොදා ගන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.