මේ වනතුරු අස්වැසුමට නොතේරුණු පුද්ගලයන්ට සුබ ආරංචියක් - මේ දවස්වල අලුත් වැඩක්
අස්වැසුම පළමු අදියරට (2022/2023 වර්ෂවල) අයදුම් කළ, ප්‍රතිලාභ ලැබූ සහ නොලැබූ සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මෙම ක්‍රියාවලිය 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වන වගන්තිය යටතේ සිදු වන අතර, ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම අනිවාර්ය වන බැවින්, මෙම සංගණන කටයුතු මේ දිනවල සිදුකරනු ලැබේ.
දැනට 2,993,558ක් පමණ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, ඒවා දිවයින පුරා විශ්වාසනීයව සංගණනය කර තහවුරු කිරීමේ කටයුතු ක්‍රියාත්මක වේ.
සංගණන නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත පිවිස, ලබා දී ඇති තොරතුරු තහවුරු කරයි. මෙම කටයුතු මාර්තු 28 වැනි දින අවසන් වීමට නියමිතය.
නිවසට පැමිණෙන නිලධාරීන්ගේ නිරීක්ෂණ සඳහා, පවුලේ වයස 18ට වැඩි සියලු සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත්, පසුගිය 3 මාස විදුලි බිල්පත්, ඉඩම් හිමිකම් ඔප්පු, වාහන බලපත්‍ර (ඇත්නම්), වෛද්‍ය සහතික ආදී ලිපි ලේඛන සූදානම් කර තබා ගැනීම අනිවාර්යය.
මෙම සංගණනය තුළ, වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු ආධාර සඳහා අයදුම්කරුවන්ගේ තොරතුරුද ආවරණය වේ.
සුබසාධක මණ්ඩලය අවධාරණය කරන්නේ, අසත්‍ය තොරතුරු ලබා දීම සුබසාධක පනතේ 20 වන වගන්තිය යටතේ දඬුවම් ලබන වරදක් බවත්, එවැනි අවස්ථාවක මහේස්ත්‍රාත්වරය ඉදිරියේ රුපියල් 5,000 දක්වා දඩයක් හෝ වසරක බන්ධනාගාර කාලයක් නියම කිරීමට හෝ දෙකමම වාරණය කළ හැකි බවත්ය.