ඉදිරි පැය 24 තීරණාත්මකයි..මෙම ප්‍රදේශ වල අයට අනතුරු ඇගවීමක්..

Sri Lanka Weather Western province Mathara Southern provincial
By Aruna Sep 26, 2021 02:25 AM GMT
Aruna

Aruna

Report

තද සුළං, රළු මුහුදු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට (27) පෙරවරු 7 දක්වා වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි. බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා වැඩි විය හැකියි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

මේ අතර අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

ReeCha