බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)
ඉදිරි සති දෙක තුන ඇතුළත අලුත් වාහන මෙරටට පැමිණීමෙන් පසු රට තුළ පවතින සෙකන්ඩ් හෑන්ඩ් වෙළෙඳපොළ සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.
කෙසේ වෙතත් පෙබරවාරි මස 01 වැනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබාදෙමින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.
එලෙස ගෙන්වන වාහන වල මිල ගණන් සම්බන්යෙන් අන්තර්ජාලයේ මෙලෙස ලිපියක් පල වී තිබුනා.
අඩු මිලට අලුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසන බවට වත්මන් ආණ්ඩු පාර්ශ්වය බලයට පත්වීමට පෙර දේශපාලන වේදිකාවේ පැවසුවද, ජනතාවට මිලදී ගැනීමට සිදුවන අවම වාහනයේ මිල රුපියල් ලක්ෂ 60-70ත් අතර වෙතැයි වාහන ආනයනකරුවන් පවසනවා. ඒ,වාහන ආනයනයට පනවා තිබෙන අධික බදු හේතුවෙන්.
මේ අතර රජය වාහන ආනයනය කිරීමෙන් වඩාත්ම බලාපොරොත්තු වන්නේ බදුවලින් රාජ්‍ය ආදායම ඉහළ නංවාගැනීම බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
රටේ ආර්ථිකය දිගින් දිගටම ඍණ අගයක් ගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 වසරේ මුලදි වාහන ආනයනය නතර කරන ලදී. එලෙස වාහන ආනයනය නතර කිරීමත් සමග රට තුළ පැවැති වාහනවල මිල අසීමිත ලෙස ඉහළ ගියේය. රුපියල් ලක්ෂ 20 - 30ත් අතර මිලකට අලෙවි වූ වැගන් ආර් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 60-70ක් දක්වා ඉහළ ගියා.
ඒ කෙසේ වෙතත් , සංචාරක ක්ෂේත්‍රය සඳහා අලුත් වාහනවල පැවැති දැඩි අවශ්‍යතාව සලකා බලා ඉකුත් රජය සමයේදී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කෙරිණි. ඒ අනුව අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීමට තීරණය විය. අදියර වශයෙන් වාහන ආනයනයට අදාළව කාල රාමුවක් ද ප්‍රකාශයට පත් කෙරිණි. එහි තෙවැනි අදියර යටතේ පෞද්ගලික වාහන මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීමට නියමිතව තිබිණි.
පළමුව සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය බස් රථ ඇතුළු සෙසු වාහන ආනයනය කිරීමට අවසරය ලැබිණි.
ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන හය ඉක්මවා තිබෙන බැවින් සහ ආර්ථිකය කාර්තු හතරක් අඛණ්ඩව ධන තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මෙම වසරේදී ඉන් ඩොලර් බිලියනයක පමණ මුදලක් යොදාගෙන වාහන ආනයනය කළ හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට නිර්දේශ ලබා දුන්නේය. ඒ අනුව කැබ් රථ, ලොරි ආදිය ආනයනය කිරීමට අදාළ රෙගුලාසි ඉකුත් ජනවාරි මාසයේදී නිකුත් කෙරිණි. එමෙන්ම බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටි පෞද්ගලික මෝටර් රථ (විදුලි මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ඇතුළුව), ත්‍රිරෝද රථ, යතුරුපැදි, මගී ප්‍රවාහනයට යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා මෝටර් වාහන, මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ ආනයනයට අදාළව ද වසර පහකට පසුව පෙබරවාරි 01 වැනිදා සිට අවසර ලබාදුන්නේ ජනවාරි මස 31 වැනිදා නිකුත් කරන ලද 2421/44 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රය මගිනි. වාහන ආනයනයට අදාළව මුදල් ඇමැතිවරයා විසින් ආනයන අපනයන පාලකවරයාට විශේෂ රෙගුලාසි ද නිකුත් කර තිබේ.
කෙසේ නමුත්, මෙලෙස ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ නිෂ්පාදිත වර්ෂයේ සිට වසර තුනක් දක්වා භාවිත කරන ලද වාහනය. ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී ආනයනය කළ යුත්තේ 2022 වසරේ පෙබරවාරි මාසයේදී හෝ ඉන් පසුව නිෂ්පාදනය කරන ලද වාහනය. වාහන ආනයනකරුවන් පසුගිය කාලයේ දිගින් දිගටම කියා සිටියේ නිෂ්පාදිත වර්ෂයේ සිට වසර පහක් දක්වා භාවිත කරන ලද වාහන ආනයනයට අවසර ලබා දෙන ලෙසයි. අඩු කාලයක් භාවිත කරන ලද වාහන ජපානයේ වාහන වෙන්දේසි වල ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බැවින්, එම වාහන මිලදී ගැනීමට සිදු වන්නේ ද ඉහළ මිලකට බවද වාහන ආනයනකරුවෝ පවසති. මේ හේතුවෙන්ද ආනයනය කරන වාහනවල මිල ගණන් ඉහළ යන බව ඔවුහු පෙන්වා දෙති. මෙලෙස කාල සීමාව අඩු කිරීම නිසා වාහනයක් මිලදී ගැනීමට සිදු වන්නේ සාමාන්‍ය මිලට වඩා තුන් ගුණයකින් පමණ වැඩි මිලකට බවද වාහන ආනයනකරුවෝ පවසති.
විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යමත් කිරීම, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම යන කරුණු සැළකිල්ලට ගෙන රටේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කොන්දේසි නවයක් ද පනවා තිබේ.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන්ට රාජ්‍ය ආයතන විසින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව අවශ්‍ය වාහන ප්‍රමාණය ආනයනය කළ හැකිය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් හැර සෙසු ආනයනකරුවන්ට වසරකට ආනයනය කළ හැකි වන්නේ එක් මෝටර් රථයක් පමණි. තවද මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමග අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවැනි වාහනය ආනයනය කිරීමේදී පළමු වාහනය ආනයනය කළ දින සිට මාස 12 ක කාලයකදී වෙනත් වාහනයක් ආනයනය නොකළ බවට දිවුරුම් ප්‍රකාශයකින් සටහන් කළ යුතුය. එමෙන්ම දැනට පවතින නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත් එම මෝටර් රථය රේගු සටහන්කරයේ සඳහන් දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතුය ආදී වශයෙන් කොන්දේසි 09ක් පනවා තිබේ.
මෝටර් රථ ආනයනය කිරීමේදී බදු වර්ග හතරක් අය කෙරේ. සුඛෝපභෝගී බද්ද, එන්ජින් ධාරිතාව (CC) මත අය කෙරෙන බද්ද, රේගු බද්ද සහ වැට් එම බදු වර්ග හතරයි.
වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) සියයට විස්සක (20%)ක තීරු බද්දක් අය කිරීම ඉකුත් ජනවාරි 28 වැනිදා සිට බලාත්මක කර ඇත. එසේ වුවද, මෝටර් වාහන ආනයනයේදී පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් සියයට තිහක (30%)ක තීරු බද්දක් අය වන පරිදි රේගු ආඥා පනත යටතේ අධිභාරයක් පැනවීමට අදාළව ජනවාරි 31 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇත. එය පෙබරවාරි මස 01 වැනිදා සිට බලාත්මකය. ඒ අනුව දැනට ක්‍රියාත්මක සියයට විස්සක (20%)ක තීරු බද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරන සියයට පනහක (50%)ක අධිභාරය සමග රේගු ආඥා පනත යටතේ සමස්ත තීරු බදු ලෙස සියයට තිහක (30%)ක ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනයේදී පැනවේ. මීට අමතරව සියයට දහඅටක (18%)ක වැට් බදු සහ සුඛෝපභෝගී බදු ද වාහන ආනයනයේදී අය කෙරේ.
රුපියල් ලක්ෂ 35ට වැඩි වටිනාකමක් ඇති ඉන්ධන මෝටර් රථ සඳහා මෙතෙක් අය කරන ලද සුඛෝපභෝගී බද්ද රුපියල් ලක්ෂ 50ක සීමාව දක්වා වැඩි කර තිබේ. ඒ අනුව රුපියල් ලක්ෂ 51 ක් වටිනා මෝටර් රථයක් සඳහා රුපියල් ලක්ෂයක සුඛෝපභෝගී බද්දක් අය කෙරේ. දෙමුහුන් වාහන සඳහා පැවැති රුපියල් ලක්ෂ 40ක සුඛෝපභෝගී බදු සීමාව රුපියල් ලක්ෂ 55ක් දක්වාද වැඩිකර තිබේ. එමෙන්ම විද්‍යුත් මෝටර් රථ සඳහා වන එම සීමාව රුපියල් ලක්ෂ 61කි.
වාහන ආනයනකරුවන් කියා සිටින්නේ මෙම බදු සමග ඇතැම් වාහන වල මිල වැඩිවීමක් සේම සමහර වාහන වල මිල අඩුවීමක් ද සිදුවිය හැකි බවයි. කැබ් රථවල මිල ගණන් අඩුවී තිබෙන බවත් 2025 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද කැබ් රථයක් රුපියල් කෝටි දෙකහමාරක් වැනි මිලකට මිලදී ගත හැකි බවත් ඔවුහු පවසති. තවද වෑන් රථවල මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවද වාහන ආනයනකරුවෝ කියා සිටිති.
මේ අතර විද්‍යුත් වාහන වල මිල ද ඉහළ දමා තිබීම නිසා ඒවාට තිබෙන ඉල්ලුම අඩුවනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මෙරට පරිසර දූෂණය අවම කිරීම සඳහා පසුගිය කාලයේ දිගින් දිගටම කතාබහට ලක් වූයේ ඉන්ධන දහනය වන වාහන ආනයනය අඩුකර විද්‍යුත් සහ දෙමුහුන් වාහන ආනයනය ඉහළ දැමීම සම්බන්ධයෙනි. නමුත්, වාහන ආනයනකරුවන් කියා සිටින්නේ මේ වන විට විද්‍යුත් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි බොහෝදෙනකු පෙට්‍රල් වාහන මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික දුෂාන් අසංග කියා සිටියේ ආනයනික නව වාහන තොග මාර්තු මස මුලදී මෙරටට ලැබෙනු ඇති බවයි. නව වාහන මිලදී ගැනීම සඳහා දැනට ඉල්ලුමක් තිබෙන බවද ඔහු කීවේය. නව වාහන වෙළෙඳපොලට රැගෙන ආ පසු දැනට මෙරට භාවිත කරන වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
කෙසේ නමුත් තීරු බදු රහිත බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීමට රජය අවසරය ලබාදී නැත. වාහන ආනයනයට අදාළව රජය විසින් පනවා තිබෙන කොන්දේසි නවයෙහි ඇති එක් කොන්දේසියක සඳහන් කර ඇත්තේ ‘සහනදායි බදු අනුප්‍රමාණ යටතේ මෝටර්වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසරය ලබාදෙනු නොලැබේ’ යනුවෙනි.
එහෙත් වාහන ආනයනය තාවකාලිකව නතර කළ 2020 වසරේ සිට මේ දක්වා වූ වසර පහක කාල සීමාවේදී රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර විසිදහසක් (20,000)ක් පමණ නිකුත් කර ඇත.
රජය විසින් වාහන බලපත්‍ර නිකුත් කරන්නේ කාණ්ඩ කිහිපයක් යටතේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නිකුත් කරන වාහන බලපත්‍රය පහසුකම් රැසකින් සමන්විත වේ. මීට අමතරව අමාත්‍යාංශ ලේකම්වරුන්ට, විධායක ශ්‍රේණියේ ආයතන ප්‍රධානීන්ට හා රජයේ සේවකයන්ට, විධායක ශ්‍රේණියේ විශ්‍රාමික රජයේ සේවකයන්ට මෙම වාහන බලපත්‍ර නිකුත් කෙරේ. ඒ අනුව අදාළ වාහනයේ බදු ගණනය කර බද්දෙන් රුපියල් ලක්ෂ 36ක් දක්වා වූ මුදලක් වාහන බලපත්‍රලාභීන් වාහනයක් මිලදී ගැනීමේදී අඩු කෙරේ.
රේගුවට ඉකුත් වසරේදී (2024) රුපියල් බිලියන එක්දහස් පන්සිය තිස්තුනක බදු ආදායම් ඉලක්කයක් ලබාදී තිබිණි. මෙවර එම ඉලක්කය රුපියල් බිලයන දෙදහස් පන්සිය පනහක් දක්වා ඉහළ දමා තිබෙන බව රේගුවේ ඉකුත් සතියේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කියා සිටියේය. මේ අනුව මෙලෙස ඉහළ දමන ලද රුපියල් බිලියන දහසකට වැඩි ආදායම උපයා ගැනීමට නියමිතව ඇත්තේ වාහන ආනයනයෙන් බව රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ නමුත් වාහන ආනයනකරුවන් වෙන්දේසිවලින් වාහන මිලදී ගන්නා මිල නිශ්චිතව අනාවරණය නොකර බදු ලෙස ගෙවන මුදල අඩු කිරීමේ විවිධ උපායන් අනුගමනය කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
පසුගිය සමයේදී ද රජයට අඩු මිල ගණන් පෙන්වා උණ්ඩියල් ක්‍රමයට වාහන ගනුදෙනු සිදුකර තිබිණි. මෙවැනි ක්‍රම මගින් රජයට නිශ්චිත බදු ඉලක්ක කරා යාමට අපහසු වෙනවා සේම පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව ඇහිරී යන බව ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.
රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
You may like this video