IMF සමඟ යළි ගිවිසුමකට යනවාද? - මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්
ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නැවත ගිවිසුම්ගත වීමේ හැකියාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
ඒ සඳහා යම් සම්භාවිතාවක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සුදුසු තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) රාත්‍රියේ විකාශය වූ රුපවාහිනි වැඩසටහනට එක්වෙමිනි. එහිදී ශ්‍රී ලංකාව යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට එක්වීමේ අවශ්‍යතාව සහ රටේ විදේශ සංචිතවල තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති කමිටුව සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වි එතුමා
"කමිටුව පත් කළේ අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. නමුත් තවමත් එම කමිටුව රැස්වී නැහැ. අපට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට තිබෙනවා. 17 වැනි වැඩසටහන ඉතාමත් සාර්ථකව අවසන් කරන විට අපට වගකීමක් තිබෙනවා. දැන් එහිදී පැවරී තිබූ වගකීමට වඩා වෙනස් වගකීමක් අපට පැවරී තිබෙනවා. කලින් අපේ අරමුණ වුණේ ස්ථාවරත්වය අත්පත් කර ගැනීමයි. දැන් අපි උත්සාහ කරන්නේ ඉදිරි පිම්මක් පැනීමටයි. එම පිම්ම පැනීමේදී විශේෂ වැඩසටහනක් නොතිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් සංවිධාන සමඟ අප නිරන්තරයෙන් කටයුතු කරනවා. නමුත් මේ ඉදිරි පිම්ම පැනීමේදී අපේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අධ්‍යයනය කර බැලිය යුතුයි. ඉදිරියේදී කමිටුව රැස්වීමෙන් පසු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙරත් අපට කරුණු ඉදිරිපත් කළ හැකියි. එසේ නොමැති නම්, වාර්තාව මඟින් මේ පවතින තත්ත්වය යටතේ වඩාත් උචිත වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගත යුත්තේ කැබිනට් මණ්ඩලයයි."