අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා නව වටයකින් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇති බව සඳහන් කරයි.
එබැවින් ඉදිරි සති කිහිපය ඇතුළත නව ලේඛනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඕනෑම අයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පවසයි.
ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අස්වැසුම ප්‍රතිලාභීන් නැවත සමීක්ෂණයක් සිදුකළ බව කියා සිටියා.
එබැවින් පළවෙනි අදියරේ සහ දෙවන අදියරේදී ලැබී ඇති අයදුම්පත්‍ර සහතික කරමින් පැවති බවත් මෙම මාසය තුළදී එය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.
ඉකුත් 2023 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභීන් 1,773,445ක් සිටියත් එය පසුගිය 2024 වන විට 1,761,116ක් වශයෙන් සටහන් විය.
එසේම පසුගිය 2025 වසරේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් වශයෙන් වාර්තා වූ නමුත් මෙම වසර වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,251,522ක් දක්වා අඩු වී ඇත.
එසේම අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ප්‍රතිලාභ ලබා දීමේදී අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්‍රාන්ති යන කාණ්ඩ 4ක් යටතේ අස්වැසුම ප්‍රතිලාභය ලැබී තිබූ අතර ඉකුත් දෙසැම්බර් මාසයේදී සංක්‍රාන්ති කාණ්ඩය සඳහා කළ ගෙවීම් අවසන් වූ අතර අවදානමට ලක්වූ කොටස් සඳහා ගෙවීම් පසුගිය ජූනි මාසයේදී අවසන් වී ඇත.
එබැවින් අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙක සඳහා පමණක් අස්වැසුම ප්‍රතිලාභය ගෙවීමට රජය කටයුතු කළ අතර ඒ අතරතුර නැවත සමීක්ෂණ කටයුතුද ආරම්භ කර තිබුණා.