සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර
වාහන තදබදය අධික වේලාවන්හිදී එය අවම කිරීමේ අරමුණින්, කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරු සම්බන්ධ රෙගුලාසි සැප්තැම්බර් 29 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
බස් මගීන්ට ආරක්ෂිතව සහ නියමිත වේලාවට සිය ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව සලසමින් රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ බස් රථ සඳහා වෙන් කළ මංතීරු හතක් ක්‍රියාත්මක වන බව ‘මෙට්‍රෝ බස්’ ආයතනයේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා පැවසීය.
කොළඹ බලා ගමන් කරන මගීන්ගේ පහසුව සඳහා සැප්තැම්බර් 29 වැනිදා සිට ‘මෙට්‍රෝ’ සේවයට අයත් සුඛෝපභෝගී බස් රථ 104ක් ද මෙම සේවාවට එක් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය. පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේ, බස් රථ සඳහා වෙන් කළ මංතීරු පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට පස්වරු 7.00 දක්වාත් ක්‍රියාත්මක වන බවයි.
එම කාලසීමාවන් තුළ බස් රථ සඳහා වෙන් කළ මංතීරු භාවිත කිරීමට හෝ එම මංතීරුවල වාහන නවතා තැබීමට වෙනත් වාහනවලට අවසර නොමැත. කෙසේ වෙතත්, හදිසි අවස්ථාවකදී, අනතුරක් වළක්වා ගැනීම සඳහා, දැඩි රථවාහන තදබදයක් මඟහැරීමේදී හෝ අවශ්‍ය ස්ථානයක හැරීමක් සිදුකිරීමේදී පමණක් එම මංතීරුවලට ඇතුළුවීමට අනෙකුත් වාහනවලට අවසර හිමිවන බව රණගල මහතා පැවසීය.
මෙම බස් ප්‍රමුඛතා මංතීරු ‘මෙට්‍රෝ’ බස් රථ සඳහා පමණක් සීමා නොවන අතර, අනෙකුත් මගී ප්‍රවාහන බස් රථවලටද ඒවා භාවිත කළ හැකි බව ඔහු සඳහන් කළේය.
බස් රථ සඳහා වෙන් කළ මංතීරු සම්බන්ධ රෙගුලාසි උල්ලංඝනය කරන රියදුරන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂා කිරීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.