සුබ ආරංචියක් - රටට වින කළ විෂ මත්ද්‍රව්‍ය එන මුහුදු මාර්ග සොයාගයි
මුහුද මාර්ග හරහා රට තුළට විෂ මත්ද්‍රව්‍ය ඇතුලුවන මාර්ග මේ වන විට හඳුනා ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
ඒ අනුව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ දැනට සිදුකරන විමර්ශනවලදී හෙළි වී ඇත්තේ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු මාර්ග හරහා වැඩිවශයෙන් විෂ මත්ද්‍රව්‍ය ඇතුලුවන බවයි.
මේ අතර මේ වන විට අයිස් සහ හොරොයින් කිලෝග්‍රෑම් 285 කට වැඩි ප්‍රමාණයක් සමඟ දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා සිටින බව ද සඳහන්.
එමෙන්ම මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් සඳහන් කළේ, ඔවුන්ට දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇති බවයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ දෙවිඳු 01 සහ චූටිපුතා නැමැති නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකෙහි තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 450 කට අධික බවයි.
එසේම පෙරේදා අත්අඩංගුවට ගත් මෙම යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා අද දින පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබෙනවා.
මේ අතර නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන දෙවිඳු 01 නමින් හදුන්වන පළමු බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු ද සමඟ ඉකුත් 23 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම නාවික හමුදාවේ 'සිදුරළ' විශේෂ නෞකාව මෙම මෙහෙයුම් සඳහා යොදාගත් බව සඳහන්.