මාරක අනතුරුවලට තිත තියන්න රටම එකතු වන සතිය අදින් ඇරඹේ
ජූලි 06 සිට ජූලි 10 දක්වා ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරු 11.00ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර, වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.
එම අනතුරු හේතුවෙන් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයටද ඇතිවන බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, සෑම දිනයක්ම විශේෂ තේමාවක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ජූලි 06 මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, ජූලි 07 සේවා ස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, ජූලි 08 නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, ජූලි 09 දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, ජූලි 10 පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් නම් කර තිබේ.
අනතුරු නිවාරණ සතියට සමගාමීව දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අවදානම් ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් මෙන්ම කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන අනතුරු අවම කිරීමේ ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහන් රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අංශ, අධ්‍යාපන අංශ, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර, අනතුරු නිවාරණය ජාතික වගකීමක් ලෙස සලකා මහජන සහභාගිත්වයද අපේක්ෂා කෙරේ.