මීගමුව බන්ධනාගාරය යුද පිටියක් වෙයි.. හමුදාව සහ STF එකවර කැඳවයි [VIDEO]
මීගමුව බන්ධනාගාරය තුළ යළි නොසන්සුන් තත්ත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන තිබේ. රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පැවසීය.
මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තුවාල ලැබූවන් අතරින් බරපතළ තත්ත්වයේ පසුවූ රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. සිද්ධියෙන් අනතුරුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක නිරත වූ අතර, එහිදී වහලයෙන් ඇදවැටීම හේතුවෙන් තවත් රැඳවියන් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ.
බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව කැඳවා තිබූ අතර, අවට ප්‍රදේශයේ ආරක්ෂාවද තර කර තිබිණි.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවද වාර්තා වේ.