“දැන් 22 ගැන මොකද වෙන්නේ?” - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දය ගැන නලින්ද හෙළිකරයි
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන ඇමති නලින්ද කියන දේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 24 සහ 25 වැනි දින දෙදින විවාදයක් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දෙදින විවාදයෙන් පසුව එළැඹෙන 25 වැනි දින මේ සම්බන්ධව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති බවය.
ව්‍යවස්ථා සංශෝධනයේදී අනුගමනය කළ යුතු සියලු කරුණු රජයක් ලෙස අනුගමනය කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීරණය අද පාර්ලිමේන්තුවට දැනුම්දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව ඕනෑම පාර්ශ්වයකට විරෝධතා පැවැත්වීමට අයිතියක් ඇති බවත් පැවසූ අමාත්‍යවරයා කෙසේ නමුත් විරෝධතා හෝ උද්ඝෝෂණවලට ජනමත විචාරණයක් කැඳවීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
"විරෝධතාවලට මහජන උද්ඝෝෂණවලට අයිතියක් තියෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි විරෝධතා හෝ උද්ඝෝෂණවලට ජනමත විචාරණයක් කැඳවන්න බෑ. ජනමත විචාරණයක් කැඳවීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට මේ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. එතකොට තමයි ජනමත විචාරණයක් කැඳවීමේ අයිතිය තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වුවමනාතරම් අවස්ථාව ලබා දුන්නා මේ සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කරන්න සහ ඒ සම්බන්ධව ඒ පාර්ශ්වයට කරුණු දක්වන්න. ශ්‍රී ලංකා නීතිඥ සංගමයම පවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් විතරක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙන මතයක් දැරුවා කියලා කියන්න බෑ. මොකද ඔය නීතිඥ සංගමයේ සාමාජිකයින් හැම දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක, අධිකරණයත් එක්ක වැඩ කරන අය. ඒ අය දන්නවා මෙවැනි දෙයක් කරන්නේ කොහොමද කියන එක. ව්‍යවස්ථා සංශෝධනයකදී ක්‍රියා පටිපාටිය සිදුවිය යුතු ආකාරයට තමයි සිදුවුණේ. කෙනෙකුට ඉල්ලන්න පුළුවන් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා" නමුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනවලට අනුව ව්‍යස්ථා වගන්තියක් සංශෝධනයේදී ජනමත විචාරණයක් අවශ්‍යයි ද නැත්ද කියන එක අවසානයේදී ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා. ඒ අනුව තමයි මේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ තීරණය ලබා දුන්නේ. ඒ තීරණය අද කථානායකවරයා ප්‍රකාශයට පත් කළා. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණාට පස්සේ සති තුනක කාලයක් ලබා දෙනවා ඒ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ නිසා සති තුනක කාලය අවසන් වුණාට පස්සේ එළැඹෙන දවස් හැටියට සලකලා මේ 24 සහ 25 දෙදින විවාදයක් ලබා දීලා තියෙනවා මේ සම්බන්ධව විවාද කරන්න සහ විවාදය අවසානයේදී 25 වැනිදා හවස 7ට ඡන්ද විමසීම පවත්වන්නට. ව්‍යවස්ථාවේ හැටියට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අපි අනුගමනය කරලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිගන්නේ නැති කෙනෙකුට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් උද්ගෝෂණ සංවිධානය කරන්න පුළුවන් ඒ ගැන ඒ අය ඒක කරාවි."