දඹුල්ලේ අස්වාභාවික ඉරිතැලීමක් - පිඟන් ගඩොල් හදිසියේ පුපුරයි
අස්වාභාවික ආකාරයට මහ පොළොවේ ඉරි තැලීමක් දඹුල්ල කළුන්දෑව ප්‍රදේශයෙන් ඊයේ (17) දින රාත්‍රියේ වාර්තා වී ඇත.
ඒ අනුව දඹුල්ල කළුන්දෑව අලුත්ගම ප්‍රදේශයේ නිවෙසක බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදිසියේම ඊයේ (17) දින පුපුරා ගොස් ඇති බව එම නිවෙස් හිමියා පෙන්වා දී තිබෙනවා.
ඔවුන් පවසන්නේ රාත්‍රී 8.30ට පමණ එක වරම තම දරුවන් පාඩම් කරමින් සිටින විට නිවෙස තුළ බිමට අල්ලා තිබූ පිඟන් ගඩොල් රතිඤ්ඤා පුපුරන හඬින් පුපුරා යන්නට වූ බවයි.
ඉන් පසුව සොයා බැලීමේදී නිවසේ ස්ථාන කිහිපයේ සහ බිත්ති පුපුරා ඉරිතලා ගොස් ඇති බවට දුටු බවත් පවසයි.
එහිදී ප්‍රදේශවාසීන් කඩිනමින් එම ස්ථානයට පැමිණ සොයා බැලීම්වලදී එම ආසන්නයේ ම තවත් නිවෙස් කිහිපයක මීට දින කිහිපයක සිටම බිත්ති ඉරිතලා පුපුරා යෑම සිදුවෙමින් තිබෙන බවත් තවත් ස්ථානයක වැසිකිලියක් ගිලා බැසීමට ලක්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දුන් බවත් ඔහු ඡායාරූප රැගෙන එවන මෙන් දන්වා සිටි බවත් ඔවුන් ප්‍රකාශ කරයි.
ඒ අනුව ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව කඩිනමින් සොයා බලා සිදුවන්නේ කුමක්ද යන්න අනාවරණය කර දෙන ලෙසයි.