මිස් පොල්ස්කි වේදිකාව දිදුළවමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ලෝකයටම පෙන්වයි

Report

පෝලන්තයේ පැවති “මිස් පොල්ස්කි 2026” අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සහ සංස්කෘතික අත්දැකීම් ප්‍රමුඛව ඉස්මතු කර තිබේ.

ඓතිහාසික පෝලන්ත නගරයක් වන නෝවි සැක්ස්හිදී පැවති අවසන් මහා උත්සවය පොල්සැට් රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කර ඇති අතර, එහි ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය සහභාගී වී ඇත.

නර්තන හා සංගීත සංදර්ශන, තරගකාරියන් හඳුන්වාදීම සහ විවිධ ඇඳුම් පෙළපාළිවලින් උත්සවය වර්ණවත් වී තිබේ. මෙම තරගයට පෙර, ජුනි 7 සිට 17 දක්වා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධාන කළ ප්‍රවර්ධන චාරිකාවකට අවසන් තරගකාරියන් 24 දෙනා සහ ඔවුන්ගේ නිෂ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එහිදී දිවයිනේ විවිධ දර්ශනීය ස්ථාන ආශ්‍රිතව ඡායාරූප හා රූපගත කිරීම් සිදුකර ඇති අතර, එම දර්ශන පෝලන්තයේ පුළුල් මාධ්‍ය ආවරණයක් ලබාගෙන ඇති බව සඳහන් වේ.

එමෙන්ම, අවසන් මහා උත්සවයේදී ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක්ද ප්‍රදර්ශනය කර තිබේ. තරගකාරියන්ගේ ශ්‍රී ලංකා සංචාර අත්දැකීම්, මෙරට ආගන්තුක සත්කාරය සහ සංචාරක ගමනාන්තවලදී සිදුකළ ඡායාරූප රූගත කිරීම් එහිදී ඉස්මතු කර ඇත.

මෙවර “මිස් පොල්ස්කි 2026” කිරුළ වික්ටෝරියා පටැක් විසින් දිනාගෙන ඇති අතර, ඒ අනුව ඇයට “මිස් සුප්‍රානේෂනල්” තරගයේදී පෝලන්තය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. ජයග්‍රාහිකාවට මුදල් ත්‍යාගයකට අමතරව, පූර්ණ ආගන්තුක සත්කාරය සහිත දින 10ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ගුවන් ටිකට්පත් දෙකක්ද හිමිව ඇත.

එම ත්‍යාගය සංවිධායකයන් විසින් වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් පිරිනමා ඇති අතර, එය ශ්‍රී ලංකාව පෝලන්ත සංචාරක වෙළෙඳපොළ තුළ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් වනු ඇත.