පුද්ගලයෙකු සමග නීතිවිරෝධී දුම්වැටි ජාවාරමක් කොටු වෙයි - “ලක්ෂ ගණනක දුම්වැටිත් තිබිලා”
තීරු බදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අලෙවි කළ බවට සැකපිට පුද්ගලයෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බේරුවල, දර්ගා නගරය සහ චීන කොටුව යන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් තීරු බදු රහිතව මෙරටට ගෙන ආ දුම්වැටි අලෙවි කරන බවට ලද තොරතුරක් මත ඊයේ (01) සවස මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී බේරුවල, පිටවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ දුම්වැටි 3,000කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. අදාළ දුම්වැටිවල රජය විසින් නියම කර ඇති සෞඛ්‍ය අවවාද හෝ රූපමය සෞඛ්‍ය සංඥා නොමැති බවද පොලීසිය සඳහන් කරයි.
වැටලීමේදී මෙම දුම්වැටි අලෙවි කළ බවට සැකපිට අදාළ වෙළෙඳසැලේ සේවය කළ හැටන් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පමණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බව සඳහන් වේ. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.