මැතිවරණයෙන් පසු ඉරානයට මහා පරිමාණ ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන
බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ TIME සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඉරානය ඉදිරිපත් කළ නවතම සටන් විරාම යෝජනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කළ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අතරමැදි මැතිවරණයෙන් (Midterm Elections) පසුව ඉරානයට එරෙහි මහා පරිමාණ ප්‍රහාර යළි ආරම්භ කිරීමට ඉඩ ඇති බව ප්‍රකාශ කර තිබේ.
අතරමැදි මැතිවරණයෙන් පසුව ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාර තීව්‍ර කිරීමට එක්සත් ජනපදය කටයුතු කරන්නේ දැයි විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි.
රහාර සඳහා ඉලක්ක විය හැකි ස්ථාන පිළිබඳව විස්තර කිරීමෙන් ඔහු වැළකී සිටියද, පසුගිය මාස හය තුළ එක්සත් ජනපදය සිය අවි ගබඩා නැවත පිරවීම සඳහා කටයුතු කර ඇති බව සඳහන් කළේය.
ඉරානයේ නවතම සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතුව එහි කොන්දේසි ප්‍රමාණවත් නොවීම බව ට්‍රම්ප් පැවසීය. මාස ගණනාවක් පුරා පැවති ගැටුම් හමුවේ, වසරකට පෙර තමන් පිළිගැනීමට ඉඩ තිබූ කොන්දේසි පවා මේ වන විට ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
ඉරානයට කිසියම් ආකාරයක ගිවිසුමක් අවශ්‍ය වුවද, එක්සත් ජනපදය පුළුල් පරාසයක කරුණු ආවරණය වන ගිවිසුමක් අපේක්ෂා කරන බවද ට්‍රම්ප් සඳහන් කළේය. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක මෙම ප්‍රකාශ සිදුකර තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ (Abbas Araghchi) ප්‍රධානත්වයෙන් යුත් ඉරාන දූත පිරිසක්, නිව් යෝර්ක්හි පැවති 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එක්සත් ජනපද නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණි.
එම සාකච්ඡා හරහා යම් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි එක්සත් ජනපද නිලධාරීන් මීට පෙර ඉඟි කර තිබුණද, පසුව සාකච්ඡා ඇනහිට තිබේ. සාකච්ඡා බිඳ වැටීම දෙරට අතර පවතින දැඩි අවිශ්වාසය තවදුරටත් ඉස්මතු කළ අතර, සාකච්ඡා අවසන් වීමෙන් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio), ඉරාන දූත පිරිසට වහාම එක්සත් ජනපදයෙන් පිටව යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ අතර, ඉරානයට ආර්ථික පීඩනයක් එල්ල කිරීමේ තවත් පියවරක් ලෙස ට්‍රම්ප් පරිපාලනය බ්‍රහස්පතින්දා නව සම්බාධක මාලාවක් ප්‍රකාශයට පත් කළේය. ඒ යටතේ ඉරානයේ දුම්රිය හා මෝටර් රථ අංශ මෙන්ම එම කර්මාන්ත සමඟ සම්බන්ධ විදේශීය සැපයුම්කරුවන් ද ඉලක්ක කර තිබේ.
මෙම පියවර අගෝස්තු 24 වැනිදා ආරම්භ කළ “Operation Economic Outcast” මෙහෙයුමේ කොටසක් බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම මෙහෙයුම යුද්ධය, මිසයිල සංවර්ධනය, සයිබර් ක්‍රියාකාරකම් සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහා සහාය වන ජාලවලට බලපෑම් කිරීම අරමුණු කර ගෙන තිබේ
. නව සම්බාධක යටතේ මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා සපයන රජයට අයත් ඉරාන ඉස්ලාමීය ජනරජ දුම්රිය සමාගම (Islamic Republic of Iran Railways), රාජා මගී දුම්රිය සමාගම (Raja Passenger Train Company) සහ ඉරානයේ ප්‍රධාන පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සමාගමක් ලෙස සැලකෙන ෂර්කට්-ඊ රාහ් අහන්-ඊ කම්ලේ-ඕ-නාග්ලේ (Sharkat-e Rah Ahan-e Kamal-o-Naql) ඇතුළු ආයතන ඉලක්ක කර තිබේ.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් අපනයනයට පනවා ඇති එක්සත් ජනපද සීමා හේතුවෙන්, ඛනිජ තෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ටෙහෙරානයට දුම්රිය හා මාර්ග ප්‍රවාහන ජාල මත වැඩි වශයෙන් රඳා සිටීමට සිදුව තිබේ.
බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ නව සම්බාධකවල අරමුණ එම විකල්ප ප්‍රවාහන මාර්ගවලට බාධා කිරීම බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.