කිරිපිටි මිල ගැන තීරණය.. තවත් මිල වැඩි වෙලා ද ?
ජීවන වියදම් කමිටුව හෙට පෙරවරු 10ට රැස්වීමට නියමිත ව තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී යි. පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, කිරිපිටි මිල වැඩි කිරිමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරිමට නියමිත බවයි. ඒ අනුව කිරිපිටි මිල සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට එම සාකච්ඡාවේ දී එළැඹෙනු ඇති.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂ ව ඩොලරයේ අගය ඉහළ යාම යන හේතු මත කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් රජයෙන් දිගින් දිගට ම ඉල්ලීම් කළා. එහෙත් මිල වැඩි කිරීමට රජය ඊට අවසර ලබා දුන්නේ නැහැ.
කෙසේ වෙතත් පසු ව ඔවුන් කිරිපිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ට සිදු වන මූල්‍ය අලාභය සැලකිල්ලට ගනිමින්. ඒ අනුව මේ වනවිට වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති අතර, ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර පසුගිය 19 වන දා සාකච්ඡාවක් ද පැවැත්වුණා.
එහි දී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා සිටියේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවට යි. කෙසේ වෙතත්, පසු ව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් වෙළඳපොළ තත්ත්වයන් සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ව රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වුණා.
එවන් පසුබිමක දේශීය කිරිපිටි සමාගම් ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, දේශීය කිරි ගොවීන්ට මුහුණ දීමට සිදු වන අර්බුද වළක්වා ගනිමින් දේශීය කිරිපිටි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට සමගාමී ව දේශීය කිරිපිටි මිලද ඉහළ නැංවිය යුතු බවට යි.
එසේම, සහල් පාලන මිල වැඩි කරන ලෙස සහල් නිෂ්පාදකයින් ද රජයෙන් ඉල්ලා ඇති අතර ගෑස් මිල සම්බන්ධයෙන් ද පසුගිය දිනවල විවිධ අදහස් පළ වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
