මහවැසි මැද මහමග තනිවූ කත

isolated kalubowila travel restriction maththegoda sick women
By Sewvandhi Jun 04, 2021 03:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරණ සීමා ක්‍රියාත්මක අවස්ථාවේදී 70 හැවිරිදි රෝගී කාන්තාවක් මහමග දමා ගොස් සිටියදී මත්තෙගොඩ පොලිසියේ නිලධාරීන් මැදිහත් වී ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ඊයේ රාත්‍රී පියවර ගත්තා.

මෙම කාන්තාව මීට දින දෙකකට පමණ පෙර හොරණ මහරගම මාර්ගයේ දීපංගොඩ ගුවන් පාලම අසලට කිසියම් අයෙක් විසින් ගෙනවිත් දමා ගොස් ඇතැයි පැවසෙනවා.

මේ අතර ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගුවන් පාලම යට වැසි ජලය එක් රැස් වී, අඩි දෙකක් පමණ මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් රෝගී කාන්තාව ඇය සතු බඩුබාහිරාදිය ද සමග ජලය මැද පුටුවක් තබාගෙන රැඳී සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට ලද තොරතුරක් අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කලා. එහිදී එම කාන්තාව තරමක අසනීප තත්ත්වයකින් පසුවන බව අනාවරණය වීමෙන් අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

මෙම කාන්තාව පී,සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසූවේ. මෙම කාන්තාව මොරටුව ප්‍රදේශයේ පදිංචි හැත්තෑ හැවිරිදි අවිවාහක කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now