නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

president bar of association Dumindha silva Rajeew Amarasooriya
By Sewvandhi Jun 24, 2021 01:15 PM GMT
Sewvandhi

Sewvandhi

Report

   මරණ දණ්ඩනයට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව පිරිනැමීමට තෝරා ගනු ලැබූ පදනම ජනතාවගේ දැන ගැනීම සදහා හෙළි කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව යටතේ සමාව ලබා දීම සඳහා දුමින්ද සිල්වා තෝරාගනු ලැබුවේ කවර පදනමකින් දැයි ජනතාව දැන ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක සදහන්.

දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නඩු විභාග කළ විනිසුරුවන්ගේ වාර්තාව, නීතිපතිවරයාගේ මතය සහ නිර්දේශය අනුව එම සමාව ලබා දී ඇත්දැයි දැන ගැනීම මහජනතාවගේ අයිතියක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලේකම් රජීව් අමරසුරිය මහතාගේ අත්සනින් නිකුත් කළ මෙම නිවේදනය දක්වා ඇත්තේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් තීන්දුව එවකට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව අනුමත කළ නියෝගයක් බවයි.

එවැනි සමාවක් ලබා දීමේදී සැලකිල්ලට ගත් තත්වයන් සහ දුමින්ද සිල්වාගේ නඩුව දැනට සිටින අනෙක් අයගෙන් කැපී පෙනෙන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. දුමින්ද සිල්වාට සමාව ලබා දීමට පෙර 34 (1) වගන්තියට විධිවිධාන අනුව නියම කර ඇති පරිදි නඩු විභාග කළ විනිසුරුවරුන්ගෙන් ජනාධිපතිවරයා විසින් වාර්තාවක් ඉල්ලා සිටියේද යන්නත්, එසේ නම් වාර්තාවේ අන්තර්ගතය හෙළි කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි .

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටින්නේ, ඉහත සඳහන් කරුණු එකක් හෝ වැඩි ගණනක් වර්තමාන නඩුවේදී සෑහීමකට පත් නොවූයේ නම්, දුමින්ද සිල්වාට ලබා දී ඇති සමාව අසාධාරණ බවත් අත්තනෝමතික වන අතර එය නීතියේ ආධිපත්‍යය ඛාදනය වීමට හේතු වන බවයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ලබා දී ඇති ඕනෑම සමාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව ප්‍රතිපාදනවල දක්වා ඇති පරිදි එවැනි සමාවක් ලබා දීමේ අවශ්‍යතාව හොඳින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසා සිටියි . සමාව ලබා දීම සඳහා ජනාධිපතිවරයාට ඇති බලය සහ අභිමතය සෑම විටම යුක්තිසහගත ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, එවැනි බලය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha