තාමත් ඇවිලෙන අකුරේගොඩ ඝාතනය - විරෝධතා දැඩි වෙයි - නීතිඥවරුන් පිරිසක් විරෝධතා පා ගමනකත්
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්රමුඛ නීතිඥවරුන් පිරිසක් අද (16) දින විරෝධතා පාගමනක නිරත විය.
ඒ අනුව නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (15) දින පස්වරුවේ සිය සියලු සාමාජිකයින් කොළඹට කැඳවූ අතර එහිදී තිරණය කර ඇත්තේ දිවයිනේ සියලු නීතිඥයින් අද දිනයේදී වෘත්තිය කටයුතුවලින් ඉවත්වී සිටීමටයි.
එබැවින් දිවයින පුරා නීතිඥයින් අද (16) දින අධිකරණ කටයුතුවලින් ඉවත්ව තිබුණා.
මේ නිසා නීතිඥ සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්ව ඇති බව ද වාර්තා විය. එමෙන්ම ඇතැම් අධිකරණ ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධය පළකර තිබීම ද දක්නට ලැබුණා.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඊයේ කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේම පිටිගල , ගොඩාමූණ ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ගොස් ඇත.
ඒ අනුව මේ වනවිට දේහයන් එම නිවසේ තැන්පත් කර ඇති අතර නීතිඥවරුන් , ප්‍රදේශවාසීන් ඇතුළු පාර්ශ්ව රැසක් දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණෙමින් සිටියි. එසේම මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු අද දින පස්වරුවේ සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.
තලංගම, අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයට කිලෝමිටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ පසුගිය සිකුරාදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත් විය.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් අඳාළ වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති අතර ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා යන අයයි.
මේ අතර පොලීසිය වෙඩික්කරුවන් පලා ගිය බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී සොයාගැනීමට සමත් විය.
එසේම වෙඩික්කරුවන් හා ඝාතනයට සම්බන්ධවූවන් සොයා පොලිස් කණ්ඩායම් 12ක් යොදවා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද වාර්තා විය.
ඊට අමතරව පොලීසිය දැනටමත් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඊයේ දින පස්වරුවේ සඳහන් කළා.