‘කොණ්ඩා රංජි’ දුන් තොරතුරකින් සුසාන භූමියේ සඟවා තිබූ පිස්තෝලය හමුවෙයි - පිස්තෝලය පිටුපස බිහිසුණු කතාවක් එළියට
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩා රංජි’ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පිස්තෝලයක් සොයාගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති අතර, එය ගනේමුල්ල පොලිස් බලප්‍රදේශයේ බොල්ලතේ පොදු සුසාන භූමියේ මිනීවලක් යට සඟවා තිබූ බව සඳහන් වේ. ‘මිනුවන්ගොඩ ටොක්කා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය භාවිත කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ පිස්තෝලය සඟවා තිබූ ස්ථානය කොණ්ඩා රංජි විසින් පොලිස් නිලධාරීන්ට පෙන්වා දී ඇති බව වාර්තා වේ. එම ඝාතනය සඳහා භාවිත කළ ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘රත්ගම විදුර’ විසින් තමන් වෙත ලබාදුන් බවට කොණ්ඩා රංජි ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.