ඔසුසල්වලින් මත්ද්‍රව්‍ය පෙති? ඔසුසල් හිමියන්ට විශේෂ කැඳවීමක්
ඖෂධ අලෙවි කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ඖෂධ අලෙවි කිරීමේ ජාවාරම්වල ඇතැම් පුද්ගලයන් නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වත්තාගල මහතා පවසනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
සමස්ත ශ්‍රී ලංකා පෞද්ගලික ඖෂධ හිමියන්ගේ සංගමයේ 11 වන සංවත්සර සැමරුමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
නීති විරෝධී ඖෂධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර මත්ද්‍රව්‍ය පෙති භාවිතය පිළිබඳව මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඔහු සඳහන් කළේ ඇතැම් ඔසුසල් මඟින් නීති විරෝධී මත්ද්‍රව්‍ය පෙති බෙදාහරින බවට තොරතුරු ලැබී ඇති බවයි. එමෙන්ම, ඔසුසල් ලෙස පෙනී සිටිමින් මෙවැනි ජාවාරම්වල නිරත වන පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බව ඔහු පැවසුවා.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ඖෂධ හිමියන් කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කර නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ආයුර්වේද ආයතන ලෙස හඳුන්වා ගනිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, රජයේ ප්‍රතිපත්තිය අනුව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවද සුනිල් වත්තාගල මහතා අවධාරණය කළා. ඔහු සඳහන් කළේ පුද්ගලයෙකුගේ තරාතිරම නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බවයි.
“නීතිය ක්‍රියාත්මක කිරීමේදී සෑම පුද්ගලයෙකුටම සමානව සැලකීම අපගේ ප්‍රතිපත්තියයි. හිටපු විධායක ජනාධිපතිවරයාත්, හිටපු පොලිස්පතිවරයාත්, ගමේ සාමාන්‍ය පුද්ගලයාත් නීතිය ඉදිරියේ සමානයි.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාවය පිළිබඳ මූලධර්මය අනුව කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.