බැංකු 6ක් හරහා රු. කෝටි දහස් ගණනක් පිටරටට - මූල්‍ය අපරාධ විමර්ශනය උණුසුම් වෙයි
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට මුදල් ප්‍රේෂණය කළ බවට සැක කෙරෙන තවත් සමාගම් 17ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.
එම සමාගම් බොහෝමයක් එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන සමාගම් බවට සැක කෙරෙන බවයි එම කොට්ඨාසය සඳහන් කරන්නේ.
අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කළා.
සමාගම් 89ක් හරහා රුපියල් කෝටි 19,000ක් විදෙස්ගත කරලා
2023 ජනවාරි 01 සිට 2025 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ අදාළ සමාගම් 17 සහ මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සමාගම් 72 මඟින් ශ්‍රී ලංකාවෙන් රුපියල් කෝටි 19,000ක පමණ මුදලක් විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඉන් රුපියල් කෝටි 13,000ක පමණ මුදලක් මේ වන විට නීතිමය පියවර ගෙන ඇති සමාගම් 72 මඟින් විදෙස්ගත කර ඇති බවද අනාවරණය වී ඇති බවයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරන්නේ.
මෙම මුදල් ප්‍රේෂණය කිරීම සඳහා සැකකරුවන් කොළඹ පිහිටි පෞද්ගලික සහ රාජ්‍ය බැංකු හයක් භාවිත කර ඇති බවද පොලීසිය පවසනවා.
අවදානම් රටවල් කිහිපයකටත් මුදල් යවලා
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් තිදෙනෙකු විසින් බ්‍රසීලය, පැනමාව, මුරුසිය සහ මැඩගස්කරය ඇතුළු රටවල් කිහිපයකටද මුදල් යවා ඇති බව විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා.
එම රටවල් මුදල් විශුද්ධිකරණයට අදාළ අවදානම් සහිත රටවල් ලෙස හඳුනාගෙන ඇති බවද වාර්තා වනවා. විමර්ශන නිලධාරීන් පවසන්නේ එම රටවලින් කිසිදු භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කර නොමැති බවයි.
ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුටත් දඩ
අත්අඩංගුවට ගත් සැකකරුවන් හරහා විදෙස් රටවලට මුදල් ප්‍රේෂණය කර බදු වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට රේගුව විසින් රුපියල් කෝටි 100කට ආසන්න දඩ මුදලක් පනවා ඇති බවද වාර්තා වනවා.
ප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙඳසල් දෙකක හිමිකරුවන් දෙදෙනෙකුට පිළිවෙළින් රුපියල් කෝටි 45ක සහ රුපියල් කෝටි 30ක දඩ මුදල් පනවා ඇති බව සඳහන්. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු හා නිෂ්පාදන සමාගම් සමූහයකට රුපියල් කෝටි 18ක දඩයක් පනවා ඇති බවද වාර්තා වනවා. ඔවුන් විසින් පැහැර හැර ඇති බවට හඳුනාගෙන ඇති බදු මුදල මෙන් තුන් ගුණයක මුදලක් දඩ ලෙස අයකිරීමට නියමිත බවද සඳහන්.
විදෙස් මුදල් ප්‍රේෂණය කිරීමේ ක්‍රමය අඩුවෙයි
මේ අතර, අඛණ්ඩව සිදුකරන විමර්ශන හේතුවෙන් මේ වන විට TT ක්‍රමය හරහා මුදල් විදෙස්ගත කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 90කින් පමණ අඩු වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරනවා.