රටම සලිත කරමින් පාසල අසළ පත්තුවුණ වෙඩිල්ල - වැරදුණු කුරුමාණමක්ද?
කොල්ලුපිටිය, ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි සංගීත පාසලකට සහ එහි ප්‍රධාන ගේට්ටුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ටෙලිනාට්‍ය නළුවකුගේ පුතකුට අයත් බව පැවසෙන රාත්‍රී සමාජ ශාලාවක් ඉලක්ක කරගත් ප්‍රහාරයක් වැරදීමකින් මෙලෙස සංගීත පාසලට එල්ල වී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
උසස් පොලිස් නිලධාරීන් පවසන ආකාරයට එම ටෙලිනාට්‍ය නළුවා මේ වන විට මියගොස් සිටින අතර ඔහුගේ පුත්‍රයා, එනම් රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු, ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟවී සිටින පාතාලයට සම්බන්ධ පුද්ගලයකු බවයි.
පසුගිය වසරේ නොවැම්බර් මස 7 වැනිදා මෙම රාත්‍රී සමාජ ශාලාවට කඩා වැදුණු පාතාල කණ්ඩායමක් එය ගිනි තබා විනාශ කර ඇති අතර, එම සිද්ධියේදී කිහිප දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇත. පසුගිය වසරේ සිදුවූ එම ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් දැනටමත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර, ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් මෙම මස 29 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
වත්මන් වෙඩි තැබීමට අදාළව, සංගීත පාසල් ගොඩනැගිල්ල අවට තිබී ටී.56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි උණ්ඩ දහසයක් පමණ කොල්ලුපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකුගෙන් එක් අයකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන අයුරු සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ටෙලිනාට්‍ය නළුවාගේ පුත්‍රයාට එරෙහි ප්‍රතිවාදී පාතාල කල්ලියකට අයත් දෙදෙනකු පැමිණ, රාත්‍රී සමාජ ශාලාව යැයි වරදවා වටහාගෙන සංගීත පාසලට වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මෙම සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යති.