තරුණයාගේ ඉවසීම එක්ක සෙල්ලම් කරන්න ගිය දෙවියා ගුටි කා රෝහලේ

By Wasantha Jul 22, 2021 10:55 AM GMT
Wasantha

Wasantha

Report

ප්‍රේත ආත්මයක් වැසී තිබුණු තරුණයකුගේ ශරීරයෙන් ප්‍රේම ආත්මය ඉවත් කිරීමට ගොස් ප්‍රේතයා පහරදීමෙන් සාත්තුවට පැමිණි කට්ටඩියා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ පුවතක් කුරුණෑගලට නුදුරු උප නගරයකින් වාර්තාවේ.

අසන්නට ලැබෙන පරිදි සිද්ධිය මෙසේයි. එක්තරා නිවසක වාසය කරන නිවැසියෝ නිතර නිතර රෝගා බාධවලට ලක්වෙති. රෝහල කරා ගොස් ප්‍රතිකාර කළත් කිසිවෙකුටවත් වැළඳෙන රෝග නිට්ටාවට සුව වූයේ නැත.

මේ නිසාම නිවසේ ගෘහ මූලිකයා සිටියේ දැඩි මානසික ආතතියකිනි.

මේ තත්ත්වයෙන් පසුවන මොහොතක ඔහුට හමුවූ හිතවතකුගෙන් යම් සහනයක් ලැබුණි. ඒ බලා සිටියා සේ සාස්තර කියන දේවාලයකින් මෙම කරදරවලට විසඳුමක් ලැබෙන බවට ඔහු පැවැසීම නිසාය.

කෙම්මුර දිනයක අවැසි පලතුරු වට්ටියක් ද රැගෙන නිවෙස ගැන බලන්නට නිවෙස් හිමියා දේවාලය කරා ගියේ හිතවතාද සමගිනි. තම වාරය පැමිණෙන තෙක් පෝලිමේ රැඳී සිට බුලත් අත හා පලතුරු වට්ටිය සමඟින් පඬුරු ආදිය තබා ඔහු සාස්තරය අසන්නට විය.

නිවෙසට මිය ගිය අයෙකුගේ බැල්මක් නිසා නිවැසියන් වරින් වර රෝගාබාධවලට ලක්වන බවත් මේ නිසා දුකසේ උපයන සියල්ල විනාශ වන බවත් දෙවොලේ දෙවියා පැවසන බව සාස්තරකරු පැවසීය.

ප්‍රේත ආත්මය තරුණ වියේ පසුවන පුතාට ආරූඪ වී ඇති බවද ඔහු හෙළි කල අතර එය ඉවත් කිරීමට අවැසි සාත්තුවක් නිවසේම සූදානම් කළ යුතු බවට උපදෙස් ලැබුණේය. මේ පිළිබඳව දැඩි විශ්වාසයක් තැබූ නිවෙස් හිමියා කඩිනමින් එය ඉවත් කර ගැනීමට අවශ්‍ය සාත්තුව කිරීමට කටයුතු කළේය.

ඒ අනුව දෙවාලයේ කට්ටඩියා ඇතුලු කණ්ඩායම නිවසට නියමිත දින සවස් යාමේ පැමිණියේය. බළි තොවිල් මධ්‍යයේ රාත්‍රී කාලයේ සාත්තුව සිදු කිරීමට ආරම්භ කල අතර කරන අතරවාරයේ නිවෙසේ රැඳී සිටි තරුණයා පලා ගියේ ගෙදෙර කන්දොස්කිරියාව පිළිබඳව දැඩි කෝපයෙනි.

ඔහු අල්ලාගෙන එනලෙස කියා පිරිස් යැවූ නමුදු ඔහු නිවෙසට නොපැමිණෙන බව වටහා ගත් කට්ටඩියා ආරූඪයෙන්ම ඔහු රැඳී සිටින ස්ථානය කරා ගියේය. තරුණයා සිටි තැනට ගොස් ඔහුව අල්ලාගෙන හිස මත දෙහි ගෙඩි තබා කන්නලව් කරමින් දෙහි කපන්නට සූදානම් වනවාත් සමඟම ආරූඪව සිටි දෙවියාට තරුණයා වැරෙන් පහර දෙන්නට පටන් ගත්තේය.

කට්ටඩියා අත වූ දෙහි කැපූ ගිරය විසිවී ගොස් ඈතට වැටුණු අතර පහර කෑමට ලක්වූ කට්ටඩියාට අසාධ්‍ය විය. තරුණයා යළි එතැනින්ද නිදා ගැනීමට තැනක් සොයමින් පලාගියේය. සාත්තුව පසෙක තබා රැස්ව සිටි පිරිස එක්ව කට්ටඩියා වහා රෝහල් ගත කළේය. දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු ඉන් නික්ම ගියත් අතුරුදන් වූ ගිරය සොයා ගැනීමට නොහැකිවිය.